dc.description.abstract |
ශ්‍රී ලංකාවේ සංක්‍රමණ ක්‍රියාවලිය තුළ නව ප්‍රවණතාවක් 1970 කාන්තා ශ්‍රම සංක්‍රමණය ආරම්භයත් සමඟ සිදු විය. මැදපෙරදිග කලාපීය රටවල් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රම සංක්‍රමණය සිදු කළ අතර ඉන් බහුතරයක් ගෘහ සේවය වෙනුවෙන් සංක්‍රමණය වුව ද වර්තමානය වන විට ගෘහ සේවයට පමණක් සීමා නොවන කාන්තා ශ්‍රම සංක්‍රමණ ඇගළුම්, හෙද ආදි ක්ෂේත්‍ර ද ඉලක්ක කරයි. ශ්‍රී ලංකාවේ සමකාලීනව පවත්නා සමාජ, ආර්ථික හා දේශපාලන අස්ථාවර තත්ත්වයන් හේතුකොට ගනිමින් ඇති වූ හා වර්ධනය වූ විරැකියාව මත පදනම් වූ බහු දිශානතික දරිද්‍රතාවය, කාන්තා ශ්‍රම සංක්‍රමණය පසුගිය වර්ෂ කිහිපය තුළ වර්ධනය වීමෙහි ලා තීරණාත්මක සාධකයක් වූ බව අධ්‍යයනය ඔස්සේ පැහැදිලි විය. මෙම තත්ත්වය ලංකා සමාජයේ අර්ධ නාගරික සමාජවලට හා ඒ ආශ්‍රිත කුටුම්බවලට බලපා තිබෙනුයේ කවරාකාරයකින්ද යන්න මෙහි පර්යේෂණ ගැටලුව වී ඇත. මෙම අර්ධ නාගරික සමාජවල ආර්ථික ව්‍යුහයන් යටතේ බහු දිශානතික දරිද්‍රතාවය සැලකිය යුතු තත්ත්වයකින් ඉහළ ගොස් තිබීමත් ඊට විසඳුම් වශයෙන් කුටුම්බගත කාන්තාවන් ශ්‍රම සංක්‍රමණිකයන් ලෙස සංක්‍රමණය කරවීමත් නිරීක්ෂණය විය. ඒ හරහා එකී අර්ධ නාගරික, කුටුම්බ කළමනාකරණ ක්‍රියාවලිය තුළ හා රැකවරණ ක්‍රියාවලිය තුළ කාන්තාවන්ගේ දායකත්වයෙන් හිඩැසක් නිර්මාණය වීම නිසාවෙන් එම කුටුම්බ තුළ ඇති වූ සමාජ, ආර්ථික හා සංස්කෘතික බලපෑම් හා එකී බලපෑම හරහා විවිධ සමාජ ආයතන බිහිවීම සමාජ ගැටලුවක් වී ඇති ආකාරය සොයා බැලීම මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණයි. මෙම අධ්‍යයනයේ සැලැස්ම වශයෙන් මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය භාවිත කළ අතර දත්ත රැස් කිරීමෙහි ලා ඉලක්කගත සම්මුඛ සාකච්ඡා ක්‍රමය භාවිත කරමින් අර්ධ නාගරික කාන්තා ශ්‍රම සංක්‍රමණය සිදු වූ පවුල් 20ක නියැඳියක් උපයෝගී කරගන්නා ලදී. ද්විතීයික දත්ත ලබා ගැනීමේ දී මේ හා සම්බන්ධ රාජ්‍ය ආයතනවල සංඛ්‍යාලේඛන මත පදනම් විය. මෙම සමාජය දැඩි සේ කුටුම්බ රැකවරණ තත්ත්වයන් අපේක්ෂා කරන අතර කාන්තා ශ්‍රම සංක්‍රමණ හරහා එම සමාජවල කුටුම්බවලට විශාල වශයෙන් බලපෑම් සිදු වූ බව ද හෙළිදරව් විය. කුටුම්බගත ප්‍රජාවගේ පෞරුෂයන් කෙරෙහි දැඩි අයහපත් බලපෑමක් සිදුවීම එනම්, දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය ආදි සමාජ විෂමාචාරයන්ට යොමු වීම, දරුවන්ගේ අධ්‍යාපනයෙහි වර්ධනයක් නොපෙන්වීම, දරුවන්ට පෝෂණ ඌණතාවයන් ඇති වීම හා වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති වීම, බාලවයස් විවාහ හා බාලවයස් ගැබ් ගැනීම ඇති වීම ආදි ගැටලු ඇති වී තිබෙන බව අනාවරණය විය. සංක්‍රමණික කාන්තාව නැවත පදිංචිය සඳහා මෙරටට පැමිණි පසු ඇයගේ ද කායික හා මානසික තත්වයන් පිරිහී තිබීම මෙම කුටුම්බ මුහුණ දෙනු ලබන ප්‍රධානතම ගැටලුවක් සේ සාකච්ඡා කළ හැකිය. තව ද අධික ණය බර මෙම ගැටලු තවදුරටත් සංකීර්ණ කරන බව ද අනාවරණය විය. තවමත් අප රට තුළ රැකවරණ හා කුටුම්බ කළමනාකරණ ක්‍රියාවලියේ වගකීම කාන්තා පාර්ශ්වය සතු වීම මත ඔවුන් සිය කුටුම්බයේ අභිවෘද්ධිය උදෙසා මෙලෙස සංක්‍රමණය වුව ද ඔවුන් බලාපොරොත්තු වූ සමාජ චල්‍යතාවයට ළගාවීමට අපොහොසත් වී තිබේ. |
en_US |