dc.description.abstract |
පරාක්‍රම සමුද්‍රය පොළොන්නරු රාජධානි සමයේ පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලද විශිෂ්ට නිර්මාණයකි. තෝපා වැව, දුඹුටුලු වැව, එරමුදු වැව, කලහගල වැව හා භූ වැව යන වැව් එකට යා කරමින් පරාක්‍රම සමුද්‍රය ගොඩනගන ලදී. මෙම දැවැන්ත ජලාශය නිර්මාණය කිරීම පිළිබඳ මහාවංශයේ සඳහන් වන්නේ “ජීවත් වන සත්වයාගේ කුසගින්න නැති කරනු වස් ඉතා ශ්‍රේෂ්ඨ මිනිසුන් විසින් සියලු ම ජලාශවලට රාජයා වූ මෙය ඉදි කෙරිණි”යනුවෙනි. නවීන යන්ත්‍රෝපකරණ, දියුණු තාක්ෂණය හෝ දියුණු විද්‍යාත්මක ක්‍රමවේද යටතේ වුව ද මෙවන් විශිෂ්ට නිර්මාණයක් ගොඩනැගීම ප්‍රබල අභියෝගයකි. පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම, බිසෝකොටුව, සොරොව්ව, වාන්, රළපනාව, ඇළ මාර්ගය යන සුවිශේෂ වාරි අංගවලින් යුක්ත වේ. පරාක්‍රම සමුද්‍රයේ වැව් කණ්ඩියේ දිග සුප්‍රකට මහවැව් කණ්ඩිවල මුළු දිගේ එකතුවට ද වැඩි බව සඳහන් වේ. පැරණි වාරි කර්මාන්තයේ තිබූ ශිල්පීය නිපුණතාව මෙම සුවිශිෂ්ට අංගයන්ගෙන් පිළිබිඹු වේ. පර්යේෂණ ගැටලුව ලෙස පැරණි වාරිකර්මාන්තය හා බැඳී තාක්ෂණයේ සුවිශේෂ ලක්ෂණ හඳුනා ගැනීමේ දී පොලොන්නරු රාජධානියේ පරාක්‍රම සමුද්‍රයෙන් ලැබෙන දායකත්වය කෙබඳු ද යන්න මෙහි දී විමර්ශනයට බඳුන් වේ. පරාක්‍රම සමුද්‍රය හා සම්බන්ධ වාරි ජාලයේ තාක්ෂණය භාවිතය හඳුනාගැනීම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ විය. ඉතා දියුණු තාක්ෂණික ශිල්ප ක්‍රම අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය හා බද්ධ ව ක්‍රියාත්මක වූ ආකාරය හඳුනාගැනීමට මෙම පර්යේෂණය වැදගත් වනු ඇත. |
en_US |