Abstract:
ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක වෙනස මෙන් ම, සමාජයෙහි එම දෙපක්ෂයට හිමි සමාජ තත්ත්වයන් මත ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංකල්පය හඳුනා ගෙන තිබෙන අතර, මනෝ විද්‍යාත්මක හා සංස්කෘතික ගම්‍යයක් සහිත යෙදුමක් ලෙස ද වැදගත් වේ. සමාජය ස්ත්‍රී පුරුෂ සමාජභාවී වශයෙන් විසම ගති පැවතුම් ආරෝපණය කර ඇති ලෙසින් ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවී භූමිකා’ ඔවුන්ට ආරෝපණය කර දී තිබේ. පුරාතනයේ සිට ස්ත්‍රිය හා පුරුෂයා අතර වෙනස් සමාජ භූමිකා හා සමාජ තත්ත්ව ප්‍රතිනිර්මාණය කරමින් ස්ත්‍රිය පුරුෂයාට වඩා ද්විතීයික තත්ත්වයකට හෙළීම දක්නට ලැබුණි. භාරතීය බ්‍රාහ්මණ සමාජයෙහි ස්ත්‍රියට අධ්‍යාපනය ලැබීම පවා අහිමි කර තිබුණු අතර, කාන්තාවන්ගේ සාක්ෂි ද නීතියෙන් පිළි නොගත්තේ ය. ගෞතම බුද්ධත්වයෙන් පසු ව බ්‍රාහ්මණ සමාජයේ පැවති මෙම දුර්භාග්‍ය තත්ත්වය යම් ප්‍රමාණයකට අවම වුව ද, ඒවා සම්පූර්ණයෙන් ම සමාජයෙන් ඉවත් නොවුණු බව සූත්‍ර පිටකයෙහි, ඛුද්දක නිකායේ ඇතුළත් ථෙරි ගාථාවන්ගෙන් පැහැදිලි වේ. ගෘහ ජීවිතයෙන් මිදී භික්ෂුණී ශාසනයට ඇතුළත් ව විමුක්ති මාර්ගය සාක්ෂාත් කර ගත් පසු ඉන් සන්තුෂ්ටියට පත් වූ අයුරු මෙම ථෙරි ගාථාවලින් ප්‍රකාශ වුණි. එහෙත් ඒ අව්‍යාජ සතුට සමඟ සිහි කරන තමන් පෙර අත් විඳි දුක් ගැහැට හා විවිධ අභියෝග තත් යුගයේ ස්ත්‍රීන් සමාජය හා පවුල තුළ දී මුහුණ දුන් අසාධාරණ, හිංසන අනාවරණය කරන අතර, එම ස්ත්‍රී පුරුෂ චරිත පිළිබඳ විමසා බැලීම පර්යේෂණයේ අරමුණ යි. ථෙරි ගාථාවලින් නිරූපිත බුද්ධකාලීන භාරත සමාජයේ ස්ත්‍රී පුරුෂ චරිත ඇසුරෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංකල්පය නිරූපණය වන්නේ කෙසේ ද? යන ගැටලුවට අදාළ ව මෙම පර්යේෂණය සිදු කෙරෙන අතර, ගුණාත්මක දත්ත විශ්ලේෂණ ක්‍රමය යටතේ සිදු කරන මෙම පර්යේෂණයේ දී ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය දත්ත පුස්තකාල පරිශීලනය හා අන්තර්ජාලය මගින් එක් රැස් කර පඨිත විශ්ලේෂණය කිරීම සිදු කෙරෙයි. ථෙරි ගාථා නිපාත දහසයෙන් ථෙරි ගාථා කථා වස්තු දහයකට පමණක් අධ්‍යයනය සීමා වන අතර, තත් යුගයේ සමාජ තත්ත්වය අනුව ස්ත්‍රී පුරුෂ චරිතවල ස්වභාවය හඳුනා ගැනීම හා ස්ත්‍රී භූමිකාවට ප්රමුඛස්ථානයක් ලබා දෙමින් ථෙරි ගාථා රචනා වී ඇති බව ප්රතීයමාන වෙයි.