Abstract:
පුරුෂාධිපත්‍යයේ අසීමිත බලය හමුවේ කාන්තාවන්ට විඳීමට සිදුවන හිංසන ප්‍රතිශතය වර්තමානයේ ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා දත්ත වාර්තාවලින් තහවුරු වේ. සමාජය දෙස තියුණු විමසිල්ලකින් පසුවන අද්‍යතන කිවිඳියෝ තම දෘෂ්ටි පථයට මෙම සමාජීය ගැටලුව මැනවින් ග්‍රහණය කර ගත්හ. දහනව වන සියවසින් පසුව අද්‍යතන සිංහල කවියට පදනම සැකසුණි. වස්තු විෂයන් ඔස්සේ ක්‍රමිකව වර්ධනය වෙමින් වර්තමානය දක්වා අඛණ්ඩව ගලා ආ අද්‍යතන සිංහල කවිය විවිධාකාරයෙන් පෝෂණය ලැබීය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය හේතුවන් ස්ත්‍රියට පුරුෂයා හා සම තැන ලබා ගැනීම බාධකයක් වී ඇත. කාන්තාවන් හා පිරිමින් පිළිබඳව සමාජය ගොඩනඟා ගත් ලක්ෂණයන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස හඳුන්වයි. යුග ගණනාවක් ඔස්සේ ඒකාකාරීව ගලාගෙන ආ කවිය අද්‍යතනයේ දී වෙනස්කම් රැසකට භාජනය කරමින් මනා ව්‍යුත්පත්තියක් හා අනුභූතියකින් යුක්ත වූ නූතන කිවිදියෝ ස්ත්‍රිය වර්තමානය වන විට අත්විඳින හිංසනය සමාජගත කිරීමට කවිය අවියක් බවට පත් කර ගත්හ. පුරුෂ මූලික සමාජ ක්‍රමය හේතුවෙන් නිර්ධන පාන්තික ස්ත්‍රියට අත්විඳීමට සිදු වූ හිංසනය අද්‍යතන සිංහල කිවිඳියෝ තම කාව්‍ය නිර්මාණ සඳහා උපයුක්ත කොට ගත්තේ කෙසේ ද? යන්න විමසීම මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුවයි. පුරුෂ මූලිකත්වය සමාජයේ සෑම අංශයකම ප්‍රබල ලෙස ව්‍යාප්තව පවතින බැව් නොයෙක් හිංසනයන්ට මුහුණ දීමට ස්ත්‍රියට සිදු වේ. කායික හා මානසික හිංසන, ලිංගික අපයෝජන හා ගෘහස්ථ හිංසන ඒ අතර ප්‍රධාන වෙයි. ආර්ථිකය ප්රමුඛ කරගනිමින් නිර්මාණය වූ පන්ති භේදය හේතුවෙන් ස්ත්‍රිය සමාජයෙහි හුදකලාවට ලක්ව පීඩාවට පත්වන ආකාරය පිළිබඳව සමාජය පුළුල් ලෙස දැනුවත් කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. අද්‍යතන කිවිඳියන් විශිෂ්ට ලෙස තම කාව්‍යයන් සඳහා නිර්ධන පාන්තික ස්ත්‍රිය කෙරෙහි පුරුෂාධිපත්‍යයෙන් වන බලපෑම වස්තු විෂය කර ගනිමින් ස්ත්රිවාදි දෘෂ්ටිකෝණයෙන් ඇයට අත් වන අසාධාරණය ගම්‍යමාන කරයි. මෙම පර්යේෂණයේ දී පුස්තකාලය හා අන්තර්ජාල මූලාශ්‍රය ඔස්සේ ලබා ගත් ද්විතීක දත්ත ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයට අනුකූලව කරුණු ගවේෂණය කරන ලදී. ස්ත්‍රී පුරුෂ භේදය, ස්ත්‍රී පුරුෂ අසමානතාව, මර්දනය කිරීම, හිංසනයට ලක් කිරීම පුරුෂාධිපත්‍යයේ නිපැයුම් සංකල්ප වේ. සමාජයේ සිදු විය යුතු වන්නේ මෙම සංකල්පය තීව්ර කිරීම නොව ස්ත්‍රිය සතු වූ ප්රජාතන්ත්රවාදී අයිතිය ඇයට ලබා දෙමින් සමාජයේ පුරුෂයා හා සමානව හැසිරීමට ඉඩ ප්‍රස්ථාව උදා කර දීමයි. සංස්කෘතික හා සම්ප්‍රදායික රාමුව බිඳ හෙළමින් අයිතිවාසිකම් හා සමාජ ආස්ථානය පුරුෂයාට සේම සමව ස්ත්රියටද ලබා දීමෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ස්ථාපිත කළ හැකිය යන්න මෙහි නිගමනය වේ.