Abstract:
ගෝලීය වශයෙන් විවිධ විවාහ ස්වරූප පවතින අතර ඉන් ළමා විවාහය ප්‍රධාන සමාජ ප්රපංචයක් වේ. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට අඩු ළමුන් විවාහ වීම නෛතික ව තහනම් වන නමුත් වර්තමානයේ දී මෙය ඉහළ ප්‍රවණතාවක් පවතී. ඒ අනුව මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුව වන්නේ බාලවයස්කාර ගැහැනු ළමුන් විවාහ සඳහා නැඹුරුවීම කෙරෙහි සමාජ සාධකවල බලපෑම කුමක්ද? යන්නයි. මෙම පර්යේෂණය සිදු කිරීමෙන් ළමුන්ට ගෘහීය පරිසරය තුළ සිදුවන කායික මානසික පීඩා ඔවුන්ගේ චර්යාවට බලපාන ආකාරයත්, සමාජ පරිසරාත්මක සාධකවල බලපෑම් අධ්‍යයනය කිරීමත් පර්යේෂණයේ ප්රමුඛ අරමුණ විය. අධ්‍යයන ප්‍රදේශ ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 18A කප්පාගොඩ සහ පදියදොර යන ග්‍රාමනිළධාරී වසම් උපයෝගි කර ගන්නා ලදී. මෙහි දී ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේද යොදා ගත් අතර, අසම්භාවිතාමය හිමබෝල නියැඳිය යටතේ බාලවයස් විවාහක කාන්තාවන් 10 දෙනෙකු යොදා ගැනුණි. ප්‍රාථමික දත්ත රැස් කිරීමේ දී සම්මුඛ සාකච්ඡා සහ නිරීක්ෂණය ද, ද්විතීයික දත්ත ලෙස ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය නිලධාරී වාර්තා යොදා ගනිමින් තේමා විශ්ලේෂණ යටතේ දත්ත විශ්ලේෂණය සිදු කෙරුණි. තේමාකරණය යොදාගනිමින් ගෘහස්ථ ප්රචණ්ඩත්වය, තනි මාපිය පවුල යනා දි කුටුම්බ අර්බුද ළමුන්ට මානසික ව සහ කායික ව බලපෑම සිදු වූ ආකාරය එමගින් අනාරක්ෂිතභාවය හා පීඩනයෙන් මිදීමට විවාහ කෙරෙහි යොමු වූ බව අනාවරණය විය. තව ද සමාජීය ලෙස සාමාන්‍යකරණය, සෘණාත්මක ප්‍රතිමාන බහුල වීම, දැඩි රැකවරණය සහ දැඩි දඬුවම්, සමාජානුයෝජනය යනා දි ගැටලු ඊට යොමු වීම කෙරෙහි බලපා ඇත. වර්තමානයේ දී එම බාල වයස් විවාහය තුළින් ගෘහස්ථ ප්රචණ්ඩත්වය, බිඳුණු පවුල්, පවුල් විසංවිධානය යනාදි සමාජ ගැටලු චක්‍රීය ලෙස නිර්මාණය වීමත් මොවුන්ගේ දරුවන් ඉතා ප්රචණ්ඩ හා දැඩි ගති ලක්ෂණවලින් යුතු බව මෙම පර්යේෂණයෙන් අනාවරණය විය. ළමා කාලයේ පීඩාකාරී ළමා අත්දැකීම් ඔවුන්ගේ චර්යාවට සෘජු ලෙස බලපාන බවත්, ජීවත් වන්නාවූ සමාජ පරිසරය ද ප්‍රතිමාන අභ්‍යන්තරීකරණය වන බවත් නිගමනය කළ හැකිය. ගෘහස්ථ හිංසනය සහ ළමා විවාහ කෙරෙහි පවතින නීති සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීම, පවුල් උපදේශනය හා ළමා උපදේශනය පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම, ලිංගික අධ්‍යාපනය, ළමා ආරක්ෂණය ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ව අවබෝධයක් ලබා දීම යනාදිය මගින් බාලවයස්කාර දරුවන් විවාහයට පත්වීමේ අහිතකර තත්ත්වයන් මගහරවා ගැනීම උදෙසා යෝජනා ලෙස ඉදිරිපත් කළ හැකිය.