Abstract:
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් පැවැති අනුරාධපුර රාජධානි සමය දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික, සමාජ, සංස්කෘතික වශයෙන් ද ස්ථාවර කාල පරිච්ඡේදයක් වේ. අනුරාධපුර රාජධානි යුගයේ දේශපාලනය මධ්‍යගත පාලන රටාවකින් සමන්විත ප්‍රබල රාජාණ්ඩු පාලන ක්‍රමයක් විය. අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන ඒකීය රටක් නිර්මාණය වූ බව වංශකථාවල සඳහන් වූවද එම රාජධානි සමයේ ද දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්වාධීන චූල පාලන ඒකක හා එම රාජධානි පැවැති බවට මූලාශ්‍ර සාක්ෂ්‍ය සපයයි. ප්‍රබල ඒකීය රාජධානි රටාවක් පැවති අනුරාධපුර යුගයේ අග නගරයෙන් බැහැර උප රාජධානි දක්නට ලැබෙන්නේ ඇයි? යන අධ්‍යයන ගැටලුව ඔස්සේ මෙම අධ්‍යයනය සිදු කරන ලදී. මෙම අධ්‍යයනය සඳහා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යොදාගත් අතර පුස්තකාල සමීක්ෂණ ක්‍රමය ඔස්සේ මූලාශ්රගත දත්ත හඳුනා ගැනීම සිදුවිය. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වූයේ අනුරාධපුර රාජධානි සමයේ උප රාජධානි බිහිවීමට හේතු හඳුනා ගැනීමය. එලෙස බිහි වූ උප රාජධානි හා ප්‍රධාන රාජධානි අතර තිබූ සම්බන්ධතාව හඳුනා ගැනීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය. අනුරාධපුරය ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක් වුවද අනුරාධපුරයෙන් ඈත පිහිටි ප්‍රදේශවල බලය අනුරාධපුර රාජධානියට ලබාගැනීම සඳහා පැවැති බල ව්‍යාප්ති අරමුණ උප රාජධානි බිහිවීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගත හැකිවිය. අතීතයේ සිට ජනාවාස ඉදි කිරීමේ පුරෝගාමී වූ ක්ෂත්රීය පවුල්වලින් පැවත එන පසුකාලීන රාජකීය උරුමකරුවන් තවදුරටත් තම ජනපද උප රාජධානි ලෙස පවත්වාගෙන ගිය බවද මෙහිදී හඳුනාගත හැකිවිය. ආරක්ෂක සාධකය, සම්පත් අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව, මෙන්ම දේශපාලන බලය ස්ථාවර කර ගැනීමේ උපක්‍රම ලෙස උප රාජධානි බිහිකර ගත් බව මෙහිදී පැහැදිලි විය. අනුරාධපුර පාලන සමයේදී උප රාජධානි බිහිවීමේ විවිධ රටාවක් ඇති බව ද නිරීක්ෂණය විය. අනුරාධපුර පාලන බලයේ මුල් අවධියේ දී නැට්ටුක්කන්ද, පෙරිය පුරමියන් කුලම වැනි අනුරාධපුරයට ආසන්න ප්‍රදේශවල වැඩි වශයෙන් චූල රාජධානි පැවත ඇත. අනුරාධපුර පාලනය දුර්වල වූ මුල් අවධියේ දී රුහුණ ප්‍රදේශයේ අවම වශයෙන් උප රාජධානි අටක්වත් (8) පැවති බව නිරීක්ෂණය කළ හැකිය. කතරගම, මාගම, කැලණිය, සේරු නුවර, සෝමනුවර, ලෝණ නුවර, ගිරි නුවර, දීඝවාපිය එලෙස හඳුනා ගත හැකි උප රාජධානි කිහිපයකි. උප රාජධානිවල ද දේශපාලන බල අරගල පැවතුණි. දුටුගැමුණු රජු රට එක්සේසත් කළ පසුව කුඩා උප රාජධානි ප්‍රධාන රාජ්‍යයේ දිය වී ඇති බව පැහැදිලි වේ. පසුව රජරට රාජධානියේ ප්‍රධාන උප රාජධානිය ලෙස රෝහණ රාජධානියටද සුවිශේෂ වැදගත්කමක් හිමි වී ඇත. ජාතික ආරක්ෂක මධ්‍යස්ථානයක් ලෙස රුහුණ අනුරාධපුර රජවරුන්ට භාවිත කළ හැකි වූ නිසා රුහුණු උප රාජ්‍ය දීර්ඝ කාලයක් පැවතිණි. අනුරාධපුර රාජධානි සමයේ ඒකීය රටක් ලංකාවේ පැවතුණ ද තවදුරටත් උප රාජධානි එම යුගයේ විවිධ හේතු මත බිහිවී තිබූ බව මෙම අධ්‍යයනයේ දී පැහැදිලි විය.