Abstract:
ඕනෑම මානව ප්‍රජාවක් තුළ උපත ලබා ඇති පුරාණෝක්ති කතාන්දරවලින් එම මානව ප්‍රජාවේ ව්‍යූහය නොහොත් සැකැස්ම පිළිබඳව යම් සංඥාවක් ග්‍රහණය කරගැනීමට පුළුවන. මානව සමාජයක ගැඹුරු තලය මතුපිට තලයට ගෙනැවිත් ප්රක්ෂේපණය කරනු ලබන එක් මාධ්‍යයක් ලෙසද පුරාණෝක්ති කථා අර්ථ දැක්විය හැකිය. එබැවින් ජනශ්රැතිය තුළ පවත්නා පුරාණෝක්ති කථා හුදෙක් මනඃකල්පිතයැයි සලකා ඉවතලීම බොහෝ අවස්ථාවල බුද්ධිගෝචර නොවිය හැකිය. ඕනෑම සමාජයක් තුළ පවත්නා වූ පුරාණෝක්ති කතාන්දර ඒවා නිර්මාණය කළ මානව සමාජයේම හරස්කඩ ප්රක්ෂේපණයකි. ක්ලවුඩ් ලෙවි ස්ට්රවුස් පුරාණෝක්ති කතාන්දර අධ්‍යයනය කිරීම සඳහාම විද්‍යාත්මක ප්‍රවේශයක් නිර්මාණය කර තිබේ. එය ස්ට්‍රවුස්ගේ ‘පුරාණෝක්ති කතාන්දර පිළිබඳ ව්‍යූහාත්මක අධ්‍යයනය’ ලෙස හැඳින්වේ. අදාළ පුරාණෝක්ති කතාව නිර්මාණය කිරීමට දායක වන මානව සමාජයෙහි කාලාන්තරයක් තිස්සේ අවරෝධනය වී පවතින මානව හැඟීම් පිට කිරීමේ ද්වාරයක් ලෙසත් අදාළ මානව සමාජයෙහි පවත්නා ද්විඝටන ආමන්ත්‍රණය කිරීමේ මාධ්‍යයක් ලෙසත් පුරාණෝක්ති කෘත්‍යාත්මක මෙහෙවරක් ඉටු කරන බව ස්ට්‍රවුස්ගේ අදහසයි. මෙම පර්යේෂණ ලිපිය මඟින් පර්යේෂකයා මූලිකවම ප්රයත්න දරා ඇත්තේ ලෙවි ස්ට්‍රවුස්ගේ පුරාණෝක්ති කතාන්දර අධ්‍යයනය සම්බන්ධයෙන් වන ව්‍යූහාත්මක ප්‍රවේශය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා සමාජය තුළ දක්නට ලැබෙන එක් පුරාණෝක්ති කතාවක් වන ගාඩි කුලිකයන්ගේ උත්පත්ති කථාව ව්‍යූහාත්මක විශ්ලේෂණයකට හසුකර එකී පුරාණෝක්තිය තුළින් ප්රතීයමාන කෙරෙන සමාජ සන්දර්භය හා සමාජ සැකැස්ම සම්මර්ශනයට ලක්කිරීමයි. මෙහිදී පර්යේෂණ ක්‍රමවේදය වශයෙන් යොදාගැනුණේ ‘ක්ලවුඩ් ලෙවි ස්ට්‍රවුස්ගේ ව්‍යුහාත්මක පුරාණෝක්ති විශ්ලේෂණ ක්‍රමය’යි. එම ක්‍රමය ඔස්සේ ප්රස්තුත පුරාණෝක්තිය විකේතනය කොට එකී පුරාණෝක්තිය ‘පුරාණෝක්ති පොකුරු’ (clusters of mythemes) ඔස්සේ පෙළගස්වා ගැනීමක් කර තිබේ. අනතුරුව පුරාණෝක්ති පොකුරු සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම ඔස්සේ පුරාණෝක්ති කතාව මඟින් පෙන්නුම් කෙරෙන අදාළ කුල ප්‍රජාවේ සමාජ සැකැස්ම හා තදනුබද්ධ ද්විඝටනය අවබෝධ කරගැනීමට පර්යේෂකයා කටයුතු කර තිබේ. ඒ අනුව ගාඩි කුලික ප්‍රජාවේ උත්පත්ති පුරාණෝක්ති කතාව කුලීන - කුලහීන ද්විඝටනය මත නිර්මාණය වූවක් බවත් සමාජ පරිහාරයට එරෙහිව ඔවුන් සකස් කරගත් මනෝමය ප්‍රතිකාරයක් බවත් විශ්ලේෂණ ක්‍රියාවලිය තුළින් පර්යේෂකයාට නිගමනය කළ හැකි විය.