Abstract:
සෙල්ලිපිවල ආරම්භක අවධියේ සිට දැකිය හැකි විශේෂ ලක්ෂණයක් ලෙස සෙල්ලිපිය ආරම්භයේ දී එය කර වූ රජු පිළිබඳ දැක්වෙන රාජ වර්ණනය හඳුනාගත හැකි ය. පස්වන කාශ්‍යප රජුගේ අභයගිරි පුවරු ලිපිය ආරම්භයේ ද දීර්ඝ රාජ වර්ණනයක් දැකිය හැකි ය. මෙම අධ්‍යයනයේ දී එම රාජ වර්ණනයේ අන්තර්ගත කාව්‍යාත්මක ලක්ෂණ පිළිබඳ අවධානය යොමු වේ. ‘කාව්‍යය’ යන පදය මුල්කාලීන ව “සාහිත්‍යය” යන්නට පර්යාය පදයක් ලෙස භාවිත වුව ද පසුකාලීන ව පද්‍ය ශානරය සඳහා පමණක් භාවිත විය. ගද්‍ය කාව්‍යයක් ලෙස සෙල්ලිපි නිර්මාණය වුව ද එහි පද්‍ය කාව්‍ය ලක්ෂණ ද ඇත. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ පස්වන කාශ්‍යප රජුගේ අභයගිරි සෙල්ලිපිය ආරම්භයේ සඳහන් රාජ වර්ණනයේ දැකිය හැකි කාව්‍යාත්මක ලක්ෂණ විමසා බැලීමයි. අර්ථාලංකාර, ශබ්දාලංකාර, විරිත් භාවිතය හා රස සංකල්පය වශයෙන් කාව්‍යාත්මක ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමට මෙමගින් අපේක්ෂිත ය. මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුව වන්නේ, “පස්වන කාශ්‍යප රජුගේ අභයගිරි පුවරු ලිපිය ආරම්භයේ සඳහන් රාජ වර්ණනයේ අන්තර්ගත පද්‍ය කාව්‍යාත්මක ලක්ෂණ මොනවා ද යන්න විමසා බැලීමයි. සෙල්ලිපි මාධ්‍ය භාවිත වන අතරතුරෙහි ම බිහි වන අමාවතුර, බුත්සරණ ආදි ගද්‍ය කෘතිවල කාව්‍යාත්මක ලක්ෂණ පිළිබඳ විවිධ අධ්‍යයන සිදු වුව ද සෙල්ලිපි බස් වහර සම්බන්ධයෙන් එවැනි අධ්‍යයන සිදු ව ඇත්තේ අල්ප වශයෙනි. මේ අනුව මෙම අධ්‍යයනයේ පර්යේෂණ සීමාව වන්නේ පස්වන කාශ්‍යප රජුගේ අභයගිරිය සෙල්ලිපියේ ආරම්භක රාජ වර්ණනයෙන් පිළිබිඹු වන කාව්‍ය ලක්ෂණ පිළිබඳ විමසා බැලීම පමණි.