Abstract:
ශ්‍රී ලංකේය සංස්කෘතියේ විචිත්‍රත්වයට නර්තන කලාවෙන් සාධාරණ දායාකත්වයක් ලැබේ. අස්පර්ශනීය සංස්කෘතික උරුම යටතට ගැනෙන නර්තන කලාව උඩරට, පහතරට, සබරගමු, වශයෙන් ත්‍රිත්ව සම්ප්‍රදායන් ඔස්සේ විහිදී යයි. මාතර, බෙන්තර, ගාල්ල ආදී ප්‍රදේශවල ව්‍යාප්ත පහතරට සම්ප්රදායේ නර්තන ශිල්පියකු ලෙසින් සමාජගත කරවීමට තීරණය කර එම කටයුතු ඉටු කිරීම වෙනුවෙන් කරනු ලබන සිරිත් ක්‍රියාදාමය කලඑළි බැසීම හෙවත් මඩු බැසීම ලෙසින් හඳුන්වයි. මඩුබැසීමේ මංගල්‍යයේදී කපු පත්තිනිවරයෙකු ලෙස මඩු බැසීමේදී චාරිත්‍ර රාශියක් පවතින අතර ඒවා දාමයක් ලෙස විහිදී පවතී. මෙම සම්ප්රදායේ නර්තනාංග පිළිබඳව පර්යේෂණ සිදු කර ඇතත් කලඑළි බැසීමේදී සිදු කරන චාරිත්‍ර විධි පිළිබඳව සියුම් ප්‍රාමාණික පර්යේෂණ සිදු කර නොමැති අතර එය පර්යේෂණ හිඩැසකි. පහතරට නර්තන සම්ප්රදායේ කපු පත්තිනිවරයෙකු ලෙස මඩු බැසීමේදී සිදු කරනු ලබන චාරිත්‍ර විධි කෙබඳු ද? යන අධ්‍යයන ගැටලුව විමර්ශනය කිරීමට මෙමගින් උත්සාහ ගෙන ඇත. මෙලෙස කපු පත්තිනිවරයෙක් ලෙස මඩු බැසීමේදී සිදු කරන පූර්ව චාරිත්‍ර පිළිබඳ ගවේෂණය කිරීම, ආධුනික නර්තන ශිල්පියා, ගුරුවරයා හා දෙමව්පියන් විසින් කරනු ලබන චාරිත්‍ර විමර්ශනය කිරීම, විවිධ සම්ප්‍රදායන් අනුව සිදු කරනු ලබන චාරිත්‍ර හා ඒවා විචල්‍යතාවයන්ට පත්වන අයුරු ගවේෂණය කිරීම මෙන් ම වර්තමානයේ එම චාරිත්‍රවල සිදු වී ඇති විචල්‍යතාවයන් විමර්ශනය කිරීම මෙහි අධ්‍යයන අරමුණු ලෙස පෙන්වා දිය හැකිය. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය මත පදනම්ව සිදු කරන ලදී. ඒ සඳහා පුස්තකාල අධ්‍යයන ක්‍රමවේදය හා ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමවේද යන පර්යේෂණ ක්‍රමවේද භාවිත කරන ලදී. ලබාගත් ප්‍රාථමික හා ද්විතියික දත්ත ගුණාත්මකව විවරණය කරමින් තේමාත්මක (Thematic) හා කථනාත්මක (Narrative) යන විශ්ලේෂණ ක්‍රම භාවිතයෙන් අවසන් නිගමනවලට පැමිණ ඇත. ගුරු ගෙදර සංකල්පයේදී රාත්‍රී කාලයේ ශිල්ප පුහුණුව හා බෙර නැටවීම වර්තමානයේ සිදු නොකරන බවත්, සියනෑ හා රයිගම ගුරුකුලවල චාරිත්‍ර තරමක් සමාන බවත්, මඩු බැසීමේදී වාහල නටනු ලබන්නේ ආධුනික නර්තකයා නොව කපු පත්තිනිවරයා බවත් මෙමගින් නිගමනය කළ හැකිය. මෙම පාරම්පරික ඥානය සංරක්ෂණය කිරීම, නිවැරදි චාරිත්‍ර නවක නර්තන ශිල්පීන්ගේ අවධානයට නතු කිරීම යොජනා ලෙස ඉදිරිපත් කළ හැකිය.