Abstract:
දරිද්‍රතාවය යනු සරලව ගත් විට මිනිසාගේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට ඇති නොහැකියාවයි. වර්තමානයේ ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය බිලියන 2.8 ට ආසන්න වේ. එම ජනගහනයෙන් හරි අඩක් ජීවත් වන්නේ දකුණු ආසියාවේ ය.
ශ්‍රී ලංකාවේ ද දරිද්‍රතාවය උග්‍ර සමාජ. ආර්ථික ගැටලුවක් වී තිබේ. එහි ජනගහනයෙන් 40% පමණ දරිද්‍රතා ඉමට පහළින් ජීවත් වෙති. දරිද්‍රතාවයෙන් පීඩිත වූ ජනතාව ඉන් මුදවා උසස් ජීවන තත්වයක පිහිටුවීමට ලංකාවේ මෙතෙක් බලයටපත් සෑම ආණ්ඩුවක් විසින්ම යම් යම් වැඩපිළිවෙලවල් හඳුන්වා දෙන ලදී. නමුත් අද වන විටත් ශ්‍රී ලංකාවේ දිළිදු ප්‍රජාවගේ ප්‍රමාණයේ සැලකිය යුතු වෙනස්කම් ඇති කරලීමට සමත්ව නොමැත. මේ නිසා 1995 දී සමෘද්ධි ව්‍යාපාරය නමින් වර්තමානයේ දී ක්‍රියාත්මක වෙමින් පවතින දිළිදු සහන වැඩසටහන හඳුන්වා දෙන ලදී. එබැවින් සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳව අධ්‍යයනය කිරීම අංශ කිහිපයක් යටතේ වැදගත් වේ.
මේ අධ්‍යයනයේ ගැටලුව බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය තුරන් කිරීම උදෙසා ගෙන එන ලද සමෘද්ධි ව්‍යාපාරය දැනට ක්‍රියාත්මක වන හා ක්‍රියාත්මක වී ඇති ප්‍රදේශවල දරිද්‍රතාව තුරන් කොට සමාජ ආර්ථික සංවර්ධනයක් ලබා ගෙන තිබේ ද යන්න සලකා බැලීමයි. අධ්‍යයනයේ ප්‍රධානම අරමුණ වනුයේ දිළිදුකම පිටු දැතීමෙහිලා සමෘද්ධි ව්‍යාපාරය කොතෙක් දුරට දායක වී තිබේ ද යන්න විමසා බැලීමයි. මෙම ගැටලුව විග්රහ කර බැලීම සඳහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීමේ දී සමෘද්ධි ව්‍යාපාරය සාධනීය බලපෑමක් සිදු කරන්නේය යන උපන්‍යසය යොදා ගැනේ. මෙම උපන්‍යසය අත්හදා බැලීම සඳහා අධ්‍යයන ක්ෂේත්රය වශයෙන් මාතර දිස්ත්‍රිකයේ කිරින්ද - පුහුල්වැල්ල පුදේශීය ලේකම් කොට්ඨාශයේ මල්වතුගොඩ C ග්‍රාම නිලධාරී වසමට හා කිරින්ද මගින් පහළ ග්‍රාම නිලධාරී වසම්වලට අයත් ගම්මාන 06 ක් තෝරා ලන්නා ලදී. එම ගම්මාන 06 ට අයත් කුටුම්භ 478 අතුරින් ස්ථුල සසම්භාවීය නියදි ක්‍රමයට ගම් 06 න් සමානුපාතික විභේදන ක්‍රමයට අනුව මුළු පවුල් සංඛ්‍යාවෙන් 10 % නියදියක් ලබා ගත්තේය. මේ අනුව පවුල් 478 තුළින් 10 % තෝරා ගැනීමේදී මෙම සමීක්ෂණයට පවුල් 70 ක නියැදියක් ඇතුළත් විය. දත්ත රැස් කිරීම ප්‍රාථමික හා ද්විතීයික මුලාශ්‍ර ආශ්රයෙන් සිදු කොට ඇත. ප්‍රාථමික දත්ත රැස්කිරීමේ දී ව්‍යුහගත ප්‍රශ්නමාලා ක්‍රමය, ව්‍යුහාත්මක නොවන සම්මුඛ සාකච්ජා, නිරීක්ෂණය යොදා ගෙන ඇත. ද්විතීයීක මුලාශ්‍ර වශයෙන් ග්රන්ථ, ග්‍රාම නිලධාරී සමීක්ෂණ වාර්තා , වාර සඟරා , පුවත්පත්, බැංකු වාර්තා වැනි ප්‍රකාශන ඉවහල් විය. දත්ත විශ්ලේෂණය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව සිදුකර ඇත. උපකල්පන මත පදනම්ව දත්ත විශ්ලේෂණය කොට අවසාන නිගමනවලට පැමිණ ඇත.
ඒ අනුව සමෘද්ධි සහනාධාරය ලබා දීමේ දී එය සුදුසුම පුද්ගලයාට හිමි වී තිබෙන බව, සමෘද්ධිලාභීන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය සමෘද්ධි ආධාර මත රදා පවත්න බව, සමෘද්ධිලාභීන්ගේ බැංකු ගනුදෙනු කිරීම අවම මට්ටමක පවතින අතර සමෘද්ධි බැංකු ක්‍රමය හඳුන්වා දුන් පසු එය වර්ධනය වී ඇති බව, කුඩා කණ්ඩායම් ක්‍රමය මඟින් ගමේ ජනතාවගේ ආර්ථික සමාජීය දියුණුවක් පෙන්නුම් කරන බවත්, ප්‍රජා සහභාගීත්වය ව්‍යාපෘති මඟින් ග්‍රාමීය යටිතල පහසුකම් වර්ධනය වී තිබෙන බවත් සොයා ගන්නා ලදී. මීට අමතරව සමෘර්ධි ව්‍යාපාරය දේශපාලනීකරණය වී ඇති බව ද අනාවරණය විය.