Abstract:
සමාජ විද්‍යාවේ ආරම්භය සහ විකාශනය සමඟ සමාජ අසමානතා හැදෑරීම සඳහා සමාජ ස්තරායනය යන පදය භාවිතයට එක් විය. සමාජයක අසමානකාවල ස්වභාවය, හේතු සහ ප්‍රතිළුල විග්රහ කිරීම සමාජ ස්තරායනය මගින් සිදු කෙරේ. සමාජ ස්තරායනය පිළිබඳ ඉදිරිපත් වී ඇති න්‍යායන් මෙන් ම ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති අධ්‍යයන තුළින් ද හෙළි වන්නේ සමාජ ස්තරායනය ගොඩනැගීම කෙරෙහි බලපාන්නා වූ හේතුන් පිළිබඳ ව පොදු එකඟතාවකට වඩා විවිධත්වයක් පවතින බව යි. මේ සන්දර්භය තුළ ඒ ඒ සමාජයන්හි සමාජ ස්තරායනය ගොඩනැගීම කෙරෙහි බලපාන සාධක අධ්‍යයනය කිරීම සඳහා සමාජ විද්‍යාත්මක වටිනාකමක් ඇති බව පැහැදිලි වේ.
සුනාමි ව්‍යසනයත් සමග ග්‍රාමීය ධීවර සමාජයන්හි පැවති සමාජ ස්තරායනය බිඳ වැටුණ අතර එය අළුතින් සකස් වීමට වසර 7-8 ක කාලයක් ගත විය. ඒ අනුව සුනාමියෙන් පසුව ග්‍රාමීය ධීවර ප්‍රජාව තුළ සමාජ ස්තරායනය ගොඩනැගෙන ආකිරය සහ ඒ කෙරෙහි බලපාන විවිධ සාධක මොනවා දැ යි විමසා බැලීම මේ පර්යේෂණ ගැටලුව මඟින් අවධානයට ලක් විය. සමාජයක ස්තරායනය සකස් වීම කොරෙහි බලපාන්නේ ආරිථික සාධක පමණක් ද නැතහොත් සමාජීය සහ දේශපාලනික ආදී විවිධ සාධක බලපාන්නේ ද යන්න තේරුම් ගැනීම එහි දී මුඛ්‍ය විය.
මාවනැල්ල ධීවර ගම්මානය මෙම පර්යේෂණයේ අධ්‍යයන ප්රදේශයයි. මේ ගම 2004 දෙසැම්බර් 26 වන දින සුනාමි ව්‍යසනයෙන් බරපතල හානි සිදු වූ ගමක් විය. මෙම අධ්‍යයනයේ ක්‍රමවේදය ලෙස මානව විද්‍යාත්මක අධ්‍යයනවල දී සුලභ ව යොදාගනු ලබන ක්ෂේත්‍ර අධ්‍යයන සැලැස්ම මෙම අධ්‍යයනයට ගැලපෙන පරිදි යොදා ගැනුණි. දත්ත රැස් කිරීමේ දී ප්‍රශ්න මාලාව, නිරීක්ෂණ, සම්මුඛ සාකච්ජා, වත්කම් පෙළගැස්ම සහ ද්විතීයික මුලාශ්‍රය යන මෙවලම් යොදානු ලැබී ය. අධ්‍යයනයේ අනාවරණය ලෙස අදාළ ග්‍රාමීය ධීවර ප්‍රජාව තුළ සමාජ ස්තර පහක් හඳුනාගත හැකි විය. ඒවා නම් ඇති-හැකි ස්තරය, ඇති නොහැකි ස්තරය, හැකි ස්තරය, නැති - හැකි ස්තරය, නැති - නොහැකි ස්තරය වේ. යට කී සමාජ ස්තරායන සකස් වීම කෙරෙහි ආර්ථික සාධක පමණක් නොව සමාජ ගරුත්වය සහ බලය වැදගත් වී ඇති බව නිගමනය කළ හැකි විය. බලය යටතේ පුද්ගල හෝ සාමූහික ප්රචණ්ඩත්වය හා දේශපාලන බලය ද වැදගත් වී ඇති බව අධ්‍යයනයේ නිගමන අතර කැපී පෙනේ.