Abstract:
ක්‍රි.ව. 1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය තහවුරු කරලත් බ්‍රිතාන්‍යයෝ ක්‍රි.ව. 1815 වන විට සමස්ත දිවයින ම යටත් කර ගත්හ. එසේ යටත්විජිතයක් බවට පත්කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ විශාල ප්‍රදේශයක වතු වගාව ව්‍යප්ත කිරීමට ඔවුහු පියවර ගත්හ. එමෙන් ම එවකට බ්‍රිතාන්‍යයේ ප්‍රචලිත වෙමින් පැවැති ධනවාදී ආර්ථික සංකල්පය තම යටත්විජිත තුළ දී ද ක්‍රියාත්මක කිරීම හා එම ක්‍රියාමාර්ග තුළින් උපරිම ආර්ථික වාසි ලබා ගැනීම මුලික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ම වූ ඉඩම් ප්‍රතිපත්තියක් හඳුන්වා දීම කෙරෙහි උත්සුක වූහ. ලංකාවේ ක්‍රියාත්මක වූ ස්වයංපෝෂිත ආර්ථික රටාව බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වූ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ දී පැවති ප්‍රබල බාධාවක් විය. ලංකාවේ එතෙක් ක්‍රියාත්මක කළ කෘෂිකාර්මික බෝග වෙනුවට ජාත්‍යන්තර වෙළඳපොළෙහි අළෙවි කර උපරිම ලාභ ලැබිය හැකි වාණිජ බෝග ව්‍යාප්ත කාරීමට බ්‍රිතාන්‍යයෝ බලාබොරොත්තු වූහ. ඒ සඳහා දේශීය ඉඩම් ප්‍රතිපත්තිය වෙනසකට ලක් කිරීමේ අවශ්‍යතාව අවබෝධ කර බ්‍රිතාන්‍යයෝ ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තිය ධනවාද ආර්ථිකයට ගැලපෙන ආකාරයෙනි සකස් කර ගැනීම සඳහා 19 වන සියවසේ මුල් භාගයේ සිට විසිවන සියවසේ මැද භාගය දක්වා ඔවුන් වරින් වර ඉඩම් පනත් කීපයක් හඳුන්වා දුන්හ.
ක්‍රි.ව. 1840 සිට 1935 දක්වා බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් ඉඩම් පනත්වලින් මෙරට ආර්ථික සහ සමාජීය වශයෙන් බොහෝ වෙනස්වීම් සිදු විය. ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් හිමි කර ගනු ලැබුවේ පන්ති සංයුතියේ ඇති වූ වෙනස්වීම ය. වතු වගාව සීඝ්රයෙන් ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමඟ ඒවායෙන් ලාභ උපයාගත් ඉඩම් හිමි ධනපති පන්තියක් හා ඔවුන්ගේ ඉඩම්වල සේවය කරමින් ජීවිතය පවත්වා ගෙන ගිය ඉඩම් අහිමි සහ ජීවත්වීමට කරම් ප්‍රමාණවත් ඉඩමක් නැති කම්කරු පන්තියක් ලංකාව තුළ නිර්මාණය විය. එසේ ඇති වූ වෙනස්වීම් පිළිබඳ ව මෙම පර්යේෂණය තුළින් අධ්‍යයනය කෙරේ.