Abstract:
ශ්‍රී ලාංකේය පුරාතන සමාජ සංස්කෘතික පසුබිම පිළිබඳ අධ්‍යයනයේ දී පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වැදගත් කාර්යයක් ඉටු කරන අතර, ඒ අතරින් ශිලාලේඛනයන්ට ලැබෙනුයේ ප්රමුඛ ස්ථානයකි. ශිලා මතුපිටක් මත සටහන් තබන ලද ලේඛන ශිලාලේඛන ලෙස හැඳින්වේ. එමගින් ඉපැරණි සමාජ සංස්කෘතික සාධක මැනවින් විද්‍යමාන වූ අතර, පුරාණ කාන්තාවගේ සමාජ අනන්‍යතාව ද ඉන් ගම්‍යමාන විය. මෙම අධ්‍යයනයේ දී ප්රාකෘත යුගයේ ශිලාලේඛන ඇසුරෙන් විද්‍යමාන වන පුරාණ ස්ත්‍රියගේ අනන්‍යතාව කුමන ආකාරයෙන් පවතින්නේ ද යන්න විමසා බැලීම ප්‍රධාන අරමුණ බවට පත් වේ. ඒ සඳහා ක්‍රි. පූ. තෙවන සියවසේ සිට ක්‍රි. ව. අටවන සියවස දක්වා රචිත ශිලාලේඛන ප්‍රාථමික මූලාශ්‍රය ලෙස භාවිත කෙරුණු අතර, ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය මගින් එනම් පුස්තකාල පරිශීලනයෙන් ලබා ගත් ප්‍රාථමික හා ද්විතීයීක දත්ත තුලනාත්මක ව විශ්ලේෂණය කර ඇත. ප්රාකෘත යුගයේ ශිලාලේඛන මගින් කාන්තාවගේ අනන්‍යතාව කෙසේ විද්‍යමාන වන්නේ ද? පුරුෂ මූලික සමාජයක ස්ත්‍රියට අත් වූ තත්ත්වය කෙබඳු ආකාරයෙන් පවතින්නේ ද? යනාදී පර්යේෂණ ප්‍රශ්න හමුවේ මෙම අධ්‍යයනය සිදු කෙරිණි. ප්රාකෘත අවධියේ සෙල් ලිපි ඇසුරෙන් පුරාණ කාන්තාවගේ සමාජ තත්ත්වය හා තරාතිරම පිළිබඳ සලකා බැලීමට සිදු වූයේ පුරුෂ දෘෂ්ටිකෝණයෙන් බව මෙහි දී අවධානයට ලක් වුණි. එම තත්ත්වය මත තත්කාලීන සමාජය පුරුෂ කේන්ද්‍රීය සමාජයක් බව අනාවරණය විය. මෙම පුරුෂ මූලික සමාජ පසුබිමේ දී කාන්තාවගේ සමාජ තත්ත්වය පහළ මට්ටමක පවතින අතර, ඇය ව සහායක තත්ත්වයෙහි තබා ගත් බව ද තහවුරු විය. පූර්ව ධනවාදී කෘෂි ආර්ථික සමාජ රටාව තුළ පුරුෂාධිපති සංකල්පය ගොඩ නැඟුණු අතර, ඒ හා සසඳන කල කාන්තාව ප්‍රමාණවත් නොවූ අවම සාමාජික, ආර්ථීක, දේශපාලන තරාතිරමක රැඳුණු බව පැහැදිලි වුණි. කාන්තාවට සමාජ ගෞරවය පවා හිමි වූයේ පුරුෂයා මත තීරණය වීමෙනි. නමුත් සෑම කාන්තාවකට ම තමාට හිමි පුද්ගලික නමක් තිබූ අතර එපමණකට ඇගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වී තිබිණි. නමුත් සෑමවිට ම කාන්තාවගේ අනන්‍යතාව රැඳී තිබුණේ ඔවුන් සබැඳි පුරුෂයා මත ය. එනම් පියා හෝ ස්වාමි පුරුෂයා මත ය. එහෙත් එකල සමාජයේ පැවති බෞද්ධාගමික පසුබිමට අනුව පුරුෂයින් හා කාන්තාවන් සතු ව බුද්ධිමත් ආධ්‍යාත්මික සමානත්වයක් තිබූ බව ද පැවසිය හැකි ය. කාන්තාවන් සඳහා වෙන ම සමාජ අනන්‍යතාවක් තිබූ බවට ශිලාලේඛන මගින් ප්‍රකට වූ අතර, ආගමික නිදහස, දේපළ අයිතිය හා වැඩ කිරීමට තිබූ අයිතිය මගින් ඒ බව විශද වුවත් එය අල්ප වශයෙන් පැවතුණු බව නිගමනය විය.