Abstract:
ශ්‍රී ලාංකේය ලේඛන කලාවේ ඉතිහාසය හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධක ප්රාග් ඓතිහාසික අවධියේ සිට ම ලැබී තිබේ. නමුත් ක්‍රි. පූ. තුන් වන සියවසෙන් පසු ව ශ්‍රී ලාංකේය ලේඛන කලාව ක්‍රමවත් ව ආරම්භ වී පසුකාලීන ව අක්ෂරවල රූපීය තත්ත්වය, භාෂා ලක්ෂණ ආදිය වර්ධනය වෙමින් විකාසය වූ බව හඳුනාගත හැකි ය. ඒ අනුව ක්‍රි. ව. අට වන සියවසෙන් පසු අභිලේඛනවල මුල් කාලයට වඩා බෙහෙවින් පරිණාමය වූ අක්ෂර මාලාවක් හා භාෂා ලක්ෂණ ගණනාවක් හඳුනාගත හැකි ය. මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය අධ්‍යයනය කිරීමෙහි ලා ප්රමුඛ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වන ක්‍රි. ව. එකොළොස් වන සියවසට අයත් පනාකඩුව තඹ සන්නසෙහි ද භාෂා ලක්ෂණ අතර වර්තමාන සිංහල භාෂාවේ භාවිත වන අර්ථාලංකාර භාවිතය පිළිබඳ සාධක හඳුනාගත හැකි වීම මෙම අධ්‍යයනයේ දී වැදගත් විය. පනාකඩුව තඹ සන්නසෙහි උපමාලංකාර හා රූපකාලංකාර ආදි අර්ථාලංකාර භාවිත වීමට බලපෑ හේතු මොනවා ද? යන්න මෙම පර්යේෂණයේ මූලික ගැටලුව යි. සන්නසෙහි ඇතුළත් අර්ථාලංකාර මොනවා ද? ඒවා තත් අභිලේඛනවල භාවිතය සඳහා බලපෑ ගතිකත්ව හඳුනාගැනීම මෙම පර්යේෂණයේ මූලික අරමුණ යි. ගුණාත්මක පර්යේෂණ වර්ගය යටතේ මෙම අධ්‍යයනයේ දී මූලික වශයෙන් ම දත්ත සම්පාදනය කිරීම සඳහා මූලික විධික්රමය ලෙස ක්ෂේත්‍ර නොවන ගවේෂණ ක්‍රමවේදය අනුගමනය කරන ලදි. ක්ෂේත්‍ර නොවන ගවේෂණ ක්‍රමවේදය යටතේ මූලික වශයෙන් පුස්තකාල සමීක්ෂණයේ නිරත වූ අතර එහිදී ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය අධ්‍යයනය කරන ලදි. ප්‍රාථමික මූලාශ්‍ර (පැරණි සාහිත්‍ය මූලාශ්‍රය) යටතේ මහාවංශය, ධම්පියා අටුවා ගැටපදය, අමාවතුර ආදි මූලාශ්‍රය හා ද්විතීයික මූලාශ්‍රය යටතේ පනාකඩුව තඹ සන්නස හා සම්බන්ධ ව රචනා වී ඇති ග්රන්ථ, පර්යේෂණ නිබන්ධ, පර්යේෂණාත්මක ලිපි හා සඟරා පරිශීලනය කරන ලදි. මේ අනුව තත්කාලීන සමාජයේ පැවති විවිධ ආක්‍රමණ, සංක්‍රමණ නිසා ඇති වූ සමාජ සංකීර්ණතාව යන සමාජයීය ගතිකත්වය ද, විදේශීය ආක්‍රමණ නිසා තත් අවධියේ ඇති වූ සංස්කෘතීන් මිශ්‍ර වීම යන දේශපාලනික ගතිකත්වය ද, හින්දු ආගම ඇදහීම හා සංස්කෘත භාෂාව තත් අවධියේ බහුල ව භාවිත වීම යන සංස්කෘතිකමය ගතිකත්වය ද පනාකඩුව තඹ සන්නසෙහි අර්ථාලංකාර භාවිතයට බලපෑ බවට නිගමනය කළ හැකි ය.