Abstract:
භාරතීය ආගම් සහ දර්ශන අතර අතීතයේ සිටම සංවාදයට බඳුන් වූ ප්‍රධාන මාතෘකාවක් වශයෙන් සර්වඥතා ඥානය පිළිබඳ විග්‍රහය පෙන්වා දිය හැකිය. මුල් කාලීනව ලෝකයෙහි නිර්මාණකරුවා වශයෙන් මහා බ්‍රහ්මයා සතුව ද, පසුකාලීනව තවත් විවිධ ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්වලට අනුව ඒ ඒ ශාස්තෘවරුන් සතුව ද සියලු කල්හි, සියලු ඉරියව්වලදී, සියල්ල දන්නා හා දක්නා තත්වයක් පවතින බවත්, එය සර්වඥතාව යනුවෙන් එම පිරිස් හැඳින්වූ බවත් අංගුත්තරනිකාය ලොකායතික සූත්‍රය, මජ්ඣිමනිකාය සන්දක සූත්‍රය වැනි මූලාශ්‍රය අධ්‍යයනය මගින් හඳුනාගත හැකිය. තවද බුද්ධ කාලීනව මෙන්ම වර්තමානය වනවිට ද බුදුන් වහන්සේ ද සර්වඥය යන ප්‍රකාශය සමාජය තුළ පැවති හා පවතින අයුරු දැකගත හැකිය. මෙහිදී සර්වඥතා ඥානය පිළිබඳ සංකල්පය උක්ත විග්රහයට අනුව දැක්වීමේ දී ප්‍රධාන ගැටලු කිහිපයක් මතු වේ. ඒ අතර සැබැවින්ම සර්වඥතා ඥානයක් පැවතිය හැකි ද? එසේ පවතී නම් එය සීමා සහිත හෝ රහිත ද? බුදුන් වහන්සේ සතුව ද එම සර්වඥතාව පැවතියේ ද? එසේ නොමැති නම් උන්වහන්සේ ඒ පිළිබඳව දැක්වූයේ කෙබඳු ආකල්පයක් ද? ආදී ගැටලු ඒ අතර පවතී. එහිදී දීඝනිකායේ කේවඩ්ඪ සූත්‍රයෙ හි දැක්වෙන ආකාරයට සර්වඥ යැයි ලොව සම්මත මහා බ්‍රහ්මයාට පවා විසඳිය නොහැකි ගැටලුවක් බුදුන් වහන්සේ විසින් විසඳන අවස්ථාවක් දක්නට ලැබේ. නමුත් තෙවිජ්ජ වච්චගොත්ත සූත්‍රයේ දී බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ තමන් වහන්සේට සර්වඥතාවක් නැති බවත්, ඇත්තේ ත්‍රිවිද්‍යාවක් පමණක් බවත් ය. මෙම පර්යේෂණය තුළින් සර්වඥතා ඥානය ආශ්රිත සංකල්පය පිළිබඳව බුදුන් වහන්සේ සතු වූ ආකල්පය තෝරාගත් සූත්‍ර කිහිපයක් ආශ්රයෙන් විමසීමට අපේක්ෂිත ය. මෙහි පර්යේෂණ ගැටලුව වන්නේ සර්වඥතා ඥානය පිළිබඳ බුදුන් වහන්සේගේ ආකල්පය කෙබඳු ද? යන්නයි. ඉහත දක්වන ලද පර්යේෂණ ගැටලුවට පිළිතුරු ලබා ගැනීමේ අරමුණින් ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත කරමින් සිදු කෙරෙන මෙම පර්යේෂණයෙහි පර්යේෂණ උපන්‍යාසය වන්නේ භාරතීය සමාජය තුළ සර්වඥතා ඥානය පිළිබඳව භාවිත වූ අර්ථයට අනුව සර්වඥතා ඥානය පිළිබඳ සංකල්පය බුදු දහම තුළින් ප්‍රතික්ෂේප වන බවයි. මෙම පර්යේෂණය සිදු කිරීමේ දී තොරතුරු ලබාගත හැකි විවිධ මූලාශ්‍රය පැවතිය ද, දීඝනිකාය කේවඩ්ඪ සූත්‍රය, මජ්ඣිමනිකාය සන්දක සූත්‍රය, මජ්ඣිමනිකාය තෙවිජ්ජ වච්චගොත්ත සූත්‍රය, අංගුත්තරනිකාය ලොකායතික සූත්‍රය ආදී තෝරාගත් සූත්‍ර කිහිපයක් භාවිත කරමින් සිදු කෙරෙන මෙම පර්යේෂණයට අනුව සමකාලීනව පැවති සර්වඥතාව පිළිබඳ ආකල්පය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන අයුරුත්, එසේ සෑම කල්හිම සෑම ඉරියව්වකින් ම සියල්ල දක්නා නුවණක් පැවතිය නොහැකි බව පෙන්වා දුන් ආකාරයත්, තමන් වහන්සේ සතුව එවැනි ආකාරයක සර්වඥතාවක් නොව ඒ වෙනුවට ත්‍රිවිද්‍යා ඥානය පවතින බව දක්වා ඇති ආකාරයත් තහවුරු කරගත හැකිය.