Abstract:
මණිමේකලා දෙවඟන සාගරයට අධිපති බෞද්ධ දෙවඟනක් වශයෙන් සඳහන් කළ හැකි ය. එක් අතක අංකුසයක් ද අනෙක් අතෙහි දක්ෂිණාවෘත වාලම්පූරියක් සහ මත්ස්‍ය වාහනයක් දරමින්, දෙවඟන නිරූපණය කර තිබේ. මණිමේකලා දෙවඟන දකුණු පළාතේ ධීවර ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වන බව හඳුනාගත හැකි ය. වර්තමානය වන විට ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය සහ තායිලන්තය යන රටවල මෙම දෙවඟනට වන්දනා කරනු ලබයි. ශ්‍රී ලංකාවේ මණිමේකලා දෙවඟන වන්දනාමාන කරනු ලබන ප්‍රසිද්ධ ස්ථානයක් ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ, කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ හික්කඩුවට කිලෝමීටර් තුනක් දුරින් පිහිටා ඇති සීනිගම දෙවොල් මහා දේවාලය වැදගත් ය. මෙම පර්යේෂණයේ ප්‍රධාන ගැටලුව බවට පත්වූයේ මණිමේකලා දෙවඟන පිළිබඳ ව පවතින ඓතිහාසික තොරතුරු මොනවා දැයි සොයා බැලීම ය. මණිමේකලා දෙවඟන සඳහා මිනිසුන් වන්දනාමාන සහ පුද පූජා සිදු කරනු ලබන්නේ ඇයි දැයි සොයා බැලීම සහ මණිමේකලා දේව සංකල්පය දකුණු පළාතේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල ප්‍රචලිත ව පැවතීමත්, සෙසු ප්‍රදේශවල ප්‍රචලිත ව නොපැවතීමටත් හේතු කවරේ දැයි පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ය. මෙම පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ මණිමේකලා දෙවඟන පිළිබඳ ව ඇති සාහිත්‍යමය හා අප්‍රකට ජනප්රවාදගත තොරතුරු හෙළිදරව් කිරීම ය. එසේ ම ශේෂ අරමුණු ලෙස අභාවයට පත් වෙමින් යන මණිමේකලා දේව ඇදහිල්ල පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීම සහ මෙම මාතෘකාව පිළිබඳ ව අවධානය යොමු කරනු ලබන නවක පර්යේෂකයන් වෙනුවෙන් තොරතුරු රැස් කර තැබීම මෙම පර්යේෂණයේ අරමුණු වේ. පර්යේෂණ ක්‍රමවේදය යටතේ පුස්තකාල අධ්‍යයන ක්‍රමවේදය සහ ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමවේදය යටතේ මෙම පර්යේෂණ සිදු කරන ලදී. ප්‍රාථමික මූලාශ්‍රය සහ ද්විතීයික මූලාශ්‍ර මෙන් ම සම්මුඛ සාකච්ඡා සහ ප්‍රශ්නාවලි මගින් පර්යේෂණයේ අධ්‍යයන කටයුතු සිදු කර ඇත. මණිමේකලා දෙවඟන පිළිබඳ ව ඇති සාහිත්‍යමය සහ ජනප්‍රවාද ගත තොරතුරු අනුව දෙවොල් කුමාරයා ආරක්ෂාකාරී ව ගල් පාරුවකින් ගොඩබිමට යැවීම හේතු කොටගෙන සීනිගම දෙවොල් මහා දේවාලයේ ප්‍රතිමා ස්ථාපිත කොට මණිමේකලා දෙවඟනට වන්දනාමාන සිදු කරනු ලබයි. දරු ඵල ලැබීම, ගැබිණි මව්වරුන් ආරක්ෂා කිරීම සහ විවාහ අපේක්ෂකයන් වෙනුවෙන් කටයුතු කළ හැකි දිව්‍යමය බලයක් සහිත දෙවඟනක් ලෙස ජනතාව අතර විශ්වාසයක් පවතී. මණිමේකලා දෙවඟන වෙනුවෙන් අග්නි පූජා, ඖෂධ පූජා, අභිෂේක පූජා, පලතුරු පූජා, මල් මාලා පූජා, මල් පෙති පූජා සිදු කරනු ලැබේ. දකුණු පළාතට ආවේණික වූ සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමකින් යුක්ත ඓතිහාසික දේව සංකල්පයක් ලෙස මණිමේකලා දේව සංකල්පය අධ්‍යයනය කළ හැකි විය.