dc.description.abstract |
ඓතිහාසික ජනපදකරණය හැරුණු විට නිදහසින් පසුව රාජ්‍ය අනුග්‍රහය යටතේ ජන ජීවිතය යථාවත් කිරීම වෙනස් මුහුණුවරකින් ගොවි ජනපදකරණය නමින් සිදුවිය. මෙම අධ්‍යයනය මඟින් වලව මහවැලි ගම්මාන ආශ්‍රිත ජනතාවගේ වර්තමාන ජන ජීවිතය පිළිබඳ අධ්‍යයනය කර ඇත. වලව වම් ඉවුරේ හබරලු වැව සහ සමගිපුර යන ගොවි ජනපද දෙකෙහි පවුල් 60ක් ආශ්‍රයෙන් මෙම අධ්‍යයනය කරන ලදි. මෙම අධ්‍යයනයේ අධ්‍යයන ගැටලුව බවට පත් වූයේ වලව මහවැලි ගම්මාන ආශ්‍රිත මෑතකාලීන ප්‍රවණතා හා ගැටලු මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනයයි. වලව මහවැලි ගම්මාන ආශ්‍රිත ජනතාවගේ වර්තමාන සමාජ, ආර්ථික තත්ත්වය විමර්ශනයට ලක් කිරීම තුළින් ගොවි ජනපදවාසීන් වර්තමානයේ මුහුණ දෙන ගැටලුකාරී තත්ත්ව අවබෝධ කර ගැනීම අධ්‍යයනයේ අරමුණ වේ. දත්ත ඒකරාශී කර ගැනීමේදී පුස්තකාල අධ්‍යයනය සහ ක්ෂේත්‍ර අධ්‍යයනය යටතේ ප්‍රශ්නාවලි හා සම්මුඛ සාකච්ඡා ක්‍රමවේදය යොදාගනු ලැබීය. අධ්‍යයන දත්තවලට අනුව ඉඩම් බෙදීයාමේ විෂමතාව ජනපදයේ බොහෝ ගැටලු සඳහා සාධකයක්ව තිබුණු අතර ඉඩම් බදු දීම හා විකිණීම වැනි තත්ත්ව දැකිය හැකිය. නිෂ්පාදන වියදම හා සැසදීමේදී ආදායම පහළ යාම ගොවිජනපදවාසීන්ට ඇති ප්‍රබල ගැටලුවක් වී ඇත. එසේම කෘෂි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොමැතිකම හේතුවෙන් වී ගොවීන් ධනවත් ගොවීන් බවට පත්ව නැත. අතරමැදියන් වෙළෙන්දන් හා වී මෝල් හිමියන් ගොවිජනපදය තුළ මේ නිසාවෙන් ධනවත් ගොවීන් බවට පත්ව ඇති බව අවබෝධ වේ. අධ්‍යයන දත්තවලට අනුව අඩු ඵලදාව, අඩු ආදායම, අඩු ඉතිරිය, අඩු ආයෝජනය ලෙස ආදායමේ චක්‍රීය ක්‍රියාකාරීත්වයක් ¾ක් ජානපදිකයන් තුළින් දැකිය හැකි ය. එසේම කෘෂි අමුද්‍රව්‍ය හා ශ්‍රමය ලබා ගැනීමේ අපහසුව යන ගැටලු ගොවි ජනපදය තුළ පවති. අධ්‍යාපන තත්ත්වය හා නව රැකියා උත්පාදනය වීම යන සාධක නිසාවෙන් කෘෂිකාර්මික කටයුතුවලින් පසුකාලීන පරම්පරා ඉවත්වීම යන සාධක මේ සඳහා බලපා තිබේ. මුල් පරම්පරා හැරුණු විට පසුකාලීන පරම්පරා 32% පමණ වෙනත් රැකියාවන්ගේ නිරතවීම මේ කෙරෙහි බලපා ඇත. මත්ද්‍රව්‍යවල බලපෑම ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත්වී ඇති අතර පවුල් ප්‍රශ්න සඳහා මත්ද්‍රව්‍ය ප්‍රබල බලපෑමක් කර ඇතිබව පැහැදිලි වෙයි. පසුකාලීන පරම්පරාවල අධ්‍යාපන තත්ත්වය සාමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ සමත්, උපාධිධාරී 70%ක පමණ ඉහළ අගයක් ගනු ලැබුවද විරැකියාව ගොවි ජනපදයේ තරුණ පරපුරෙහි ප්‍රධාන ගැටලුව බවට පත්ව තිබිණි. මෙවැනි වත්මන් ගැටලුකාරි තත්ත්වයන්ට අමතරව මෑතකාලීන ග්‍රාමීය නවීකරණය හා සංවර්ධන ක්‍රියාවලියට ගොවි ජනපදද ලක් වී ඇතිබව අනාවරණය කරගත හැකිය. මං මාවත් සංවර්ධනය, සුපිරි වෙළදසැල්, ගෝලියකරණයේ බලපෑම ඍජුවම ජනපද තුළ දැකිය හැකිය. ගොවිජනපද තුළ සමාජ සබඳතා ඉහළ ගොස් ඇති අතර පවුල් 60හිම ගොවිජනපදවාසීන් නාගරික සබඳතා පැවැත්වීම හා එකක් හෝ වැඩි ගණනක් සමිති සමාගම් සමඟ සබඳතා පැවැත්වීම ප්‍රවණතාවකි. නවීන ක්‍රමවේද භාවිත කරමින් පවුල් 60 ගොවිජනපදවාසීන් කෘෂිකාර්මික කටයුතුවල නිරත වන අතර සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිත නොකිරීම නව ප්‍රවණතාවයකි. සමස්තයක් වශයෙන් ගත් විට මෑතකාලීන ප්‍රවණතා නිසාවෙන් වර්තමානය වන විට මහවැලි ගම්මානයක්යැයි හඳුනාගත නොහැකි පරිදි ගොවිජනපදයේ ස්වාධීනත්වය වියැකී ගොස් ඇතිබව නිගමනය කළ හැකිය. එසේම සමාජ, ආර්ථික තත්ත්වයෙන් ගොවි ජනපදවාසීන් දියුණුවට පත් වුවද ගොවි ජනපදයට ආවේණික වූ ගැටලු මෙන්ම ග්‍රාමීය සමාජය මුහුණ දෙන්නාවූ පොදු ගැටලුකාරී තත්ත්වවලට මහවැලි ගම්මාන ආශ්‍රිත ජනපදවාසීන්ද මුහුණ දෙන බව අධ්‍යයනය තුළින් නිගමනය කළ හැකි ය. |
en_US |