dc.description.abstract |
ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රධාන ස්වාභාවික සම්පත භූමියයි. එහිදී වන සම්පත, අභ්‍යන්තර ජලාශ, වන ජීවීන්, වෙරළ සහ මානවයා විසින් නිර්මාණය කරන ලද භූ දර්ශනද භූමිය හා බැඳී තිබෙන සම්පත් වේ. පෘථිවියේ භෞතික ලක්ෂණ සහ මානව ක්‍රියාකාරකම් මත පදනම්ව පෘථිවි පෘෂ්ඨයේ භූමි පරිභෝගය කාලීනව හා අවකාශීයව වෙනස් වේ. නිරන්තරයෙන් භූමි පරිභෝග පරිවර්තනවලට භාජනය වන හෙයින් ඒවා සංකීර්ණවීම දැකිය හැකිය. එමනිසා භූමි පරිභෝග වර්ග විවිධ සාධක මත ස්ථානගතවීම දැකිය හැකිය. එම සාධක ඇතැම් විට භෞතික වන අතර තවත් සමහර අවස්ථාවකදී සමාජ-ආර්ථික සාධක විය හැකිය. භූමිය යනු සීමිත සම්පතක් වන අතර එය විවිධ අරමුණු සඳහා භාවිත කරන බැවින් නිරන්තරයෙන් වෙනස්වීීමට ලක් වේ. වර්තමානය වන විට වැඩි වන ජනසංඛ්‍යාව අනුව භූමිය කැබලිවීම, භූමි පරිභෝග රටාවන් වෙනස්වීම හඳුනාගත හැකිය. ඒ අනුව භූමි පරිභෝගයේ කාල අවකාශීය වෙනස්වීම කෙරෙහි සමාජ-ආර්ථික පැතිකඩෙහි බලපෑම කවරේද? යන පර්යේෂණ ගැටලුව ඔස්සේ මෙම අධ්‍යයනය කරන ලදි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙහි අධ්‍යයන ප්‍රදේශය විය. ද්විතීයික දත්ත පර්යේෂණ පත්‍රිකා, ග්‍රන්ථ, ආයතනික වාර්තා සහ සිතියම් මඟින් රැස් කරගන්නා ලදි. ප්‍රාථමික දත්ත රැස්කිරීම සඳහා කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්ලිඳුවාව ග්‍රාමනිලධාරී කොට්ඨාසයෙහි පිහිටි ගම්මාන 07න් ගම්මාන 03ක් නියැදි ප්‍රදේශය ලෙස තෝරා ගන්නා ලද අතර සරල සසම්භාවී නියැදි ක්‍රමය යටතේ 10% බැගින් වූ නියැදියක් යටතේ කුටුම්භ 53ක් ඇසුරින් ප්‍රශ්නාවලි සමීක්ෂණය කරන ලදි. සිතියම් විශ්ලේෂණය සහ තේමා විශ්ලේෂණය ඔස්සේ දත්ත විශ්ලේෂණය කරන ලදි. භූමි පරිභෝගයේ කාල අවකාශීය වශයෙන් සිදු වී ඇති වෙනස්වීම් 2001 සහ 2019ට අදාළ සිතියම් විශ්ලේෂණය මඟින් හඳුනාගන්නා ලදි. මෙම විශ්ලේෂණ ඇසුරින් කෘෂිකාර්මික, නේවාසික, පරිවහන, වාණිජ මෙන්ම වනාන්තර භූමි පරිභෝග කාල අවකාශීයව වෙනස්වීමට භාජනය වී තිබෙන බව හඳුනාගැනීමට ලැබිණි. රැකියා තත්ත්වය, ආදායම වෙනස්වීම, භෝග වගාමාරුව, ඉඩම් කැබලිවීම, මානව ආකල්ප, අවිධිමත් ලෙස භූමි භාවිතය, සංවර්ධන ව්‍යාපෘති හා යටිතල පහසුකම්වල තත්ත්වය යනාදි සමාජ-ආර්ථික සාධක මෙම වෙනස්වීම් කෙරෙහි බලපා ඇතිබව හඳුනාගත හැකි විය. |
en_US |