dc.description.abstract |
ජේතවන ආරාම සංකීර්ණය යනු අක්කර 50ක් පමණ වූ භූමි ප්‍රමාණයකි. මෙම භූමි ප්‍රමාණය ගොඩනැගිලි හා ඒ ආශ්‍රිත නිර්මාණ බොහොමයකින් සමන්විත වේ. මෙහි පිළිමගෙය, බෝධිඝරය, උපෝසථඝරය, දානශාලාව යනාදි වූ ගොඩනැගිලිත්, ඒ ආශ්‍රිතව දක්නට ලැබෙන සඳකඩපහණ, කොරවක්ගල්, මුරගල්, ගල්කණු, උළුවහු සහ ගල්ගරාදි වැට යනාදි වූ නිර්මාණ ඉතා වැදගත් වේ. මෙම ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී පාෂාණ අමුද්‍රව්‍යය ලෙස බහුලව යොදාගෙන ඇත. මෙම නිර්මාණ විනාශවීමට සහ ඒවායේ පැවතුම් කාලය අඩු කිරීමට හායනකාරක දැඩි බලපෑමක් එල්ල කර තිබේ. මේ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයේදී තොරතුරු අනාවරණය කරගැනීමට ක්ෂේත්‍ර සහ ක්ෂේත්‍ර නොවන අධ්‍යයන ක්‍රමවේද භාවිත කළ අතර පර්යේෂණ ගැටලුව වූයේ ජේතවනාරාම ආරාම සංකීර්ණ භූමියෙන් හමුවන නිර්මාණවලට පාෂාණ භාවිත කර ඇත්තේ කෙසේද? සහ ඒවාට හානි කරන හායනකාරක මොනවාද? යන්නයි. එලෙස එම ස්මාරකවල පැවැත්මට හානි කරන හායනකාරක මොනවාද? යන්න හඳුනාගෙන, එම හායන ක්‍රියාවලිය වැළැක්වීම උදෙසා අනුගමනය කළයුතු සංරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණයි. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා කළ පර්යේෂණයේදී අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි දක්නට ලැබෙන ගොඩනැගිලිවල නිර්මාණ අතරින් කිහිපයක් අධ්‍යයන පරාසය ලෙස යොදාගත් අතර, මෙමඟින් ගොඩනැගිලි ආශ්‍රිත නිර්මාණ සඳහා භාවිත කළ පාෂාණ වර්ග බොහොමයක් හඳුනාගැනීමට හැකියාව ලැබිණි. ඒ අතර, විවිධ වර්ගවල නයිස්, ස්ඵටික හුණුගල්, විදේශීය සම්භවයක් සහිත කිරිගරුඬ (ඉන්දියානු) යනාදී වූ පාෂාණ ඉතා වැදගත් වේ. මෙලෙස නිර්මිත ගොඩනැගිලිවල නිර්මාණවලට හානි කරන හායනකාරක රසායනික, භෞතික, මානව සහ ජීවවිද්‍යාත්මක යනාදි ලෙස වර්ගීකරණය කිරීම කළ හැකි අතර, අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයේ ගොඩනැගිලි ආශ්‍රිත නිර්මාණවලට මෙම හායනකාරකවලින් කර ඇති බලපෑම විමර්ශනය කිරීම මෙන්ම, ඒවා පාලනය කිරීමට ගතහැකි සුදුසුම ක්‍රියාමාර්ග කවරේද? සහ ඒවා ක්‍රියාත්මක කරනුයේ කෙසේද? යන්න සොයා බැලීමත් මෙම පර්යේෂණයේදී කරන ලදි. කෙසේ වුවද ඉහත සඳහන් කළ හායනකාරක නිසා මෙම ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන ගොඩනැගිලි ආශ්‍රිතව පාෂාණයෙන් නිර්මිත නිර්මාණ බොහොමයකට හානි සිදුවී ඇතිබව අධ්‍යයනය කිරීමට හැකියාව ලැබුණ අතර ඒ සඳහා හේතු වූ සාධක හඳුනාගැනීමටද හැකියාව ලැබිණි. එපමණක් නොව ඒවා වැළැක්වීම සඳහා ගතයුතු පියවර මොනවාද? යන්න පිළිබඳ දැනුමක් ලබාගැනීමටද මෙම අධ්‍යයනය මඟින් හැකියාව ලැබිණි. |
en_US |