Abstract:
මහනුවර රාජධානි සමයේ 17 වැනි සියවසයේ දී ආරම්භ ව 19 වැනි සියවසේ අවසාන භාගය දක්වා ම පැවති ටැම් හෙවත් කුළුණු මත ඉදි කළ ගොඩනැගිලි විශේෂයක් ටැම්පිට විහාර යනුවෙන් හැඳින්විය හැකි ය. කුඩා විහාර මන්දිරයකට ගාම්භීර පෙනුමක් ලබා දීමට උස් ගල්කණු මත ටැම්පිට විහාර නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නට ඇත. මීට අමතර ව මහල් දළදා මැදුරුවල බලපෑම, තෙතමනයෙන් සහ වේයන්ගෙන් ප්‍රතිමා සහ සිතුවම් ආරක්ෂා කර ගැනීම ආදි විවිධ හේතු ඒ සඳහා බලපාන ලදී. මේ අනුව උක්ත පර්යේෂණය මගින් සියනෑ කෝරළයේ පිහිටි මොට්ටුන්න, හපුවලාන, ගනේවත්ත ටැම්පිට විහාර පිළිබඳ අධ්‍යයනය කරනු ලබයි. මිනුවන්ගොඩ තල්ගස්මොටේ හන්දියෙන් දකුණට හැරී කි.මී. 02ක් පමණ ගියවිට මොට්ටුන්න කිරීටාරාම ටැම්පිට විහාරය ද, මිනුවන්ගොඩ බල්ලපාන හන්දියෙන් වමට ඇති මාර්ගයේ කි.මී. 1.5ක් පමණ ගියවිට හපුවලාන ක්ෂේත්රාරාම විහාරස්ථානය ද, දිවුලපිටිය ගනේවත්ත පන්සල මාවතේ කි.මී. 1/2ක් පමණ ගියවිට ගනේවත්ත බෝධිමළු ටැම්පිට විහාරය ද හමුවේ. සියනෑ කෝරලයේ පිහිටි ප්‍රාදේශීය වශයෙන් එක ම සීමාවකට අයත්වන මෙම ටැම්පිට විහාර ත්රිත්වයෙහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සිතුවම් හා ප්රතිමාවල සමතාවක් දක්නට ලැබේ ද? යන්න සහ ඒවාහි නිර්මාණ ලක්ෂණ අනුව ප්‍රදේශීය විවිධතා හඳුනාගැනීම පර්යේෂණ ගැටලුව වූ අතර මෙම ටැම්පිට විහාරවල දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, බිතුසිතුවම් කලාව හා ප්‍රතිමා පිළිබඳ විමර්ශනාත්මක හා සංසන්දනාත්මක අධ්‍යයනයක නිරත වීම පර්යේෂණ අරමුණ වේ.