Abstract:
නීති යනු ඉතා පැරණි වචනයක් මෙන් ම විවිධ අර්ථකථනවලට ලක්වූ සංකල්පයකි. සමාජීය විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික විශ්වකෝෂයේ නීතිය නිර්වචනය කර ඇත්තේ “ප්‍රජාව හා බැඳුණා යැයි සම්මත චාරිත්‍ර ව්‍යවහාර සහ ප්‍රජාව පවත්වාගෙන යාමට උපකාරී වන විනය හා තත්ත්වයයි” (විද්‍යාලංකාර, පැරණි ලක්දිව නීතිය සහ අධිකරණය, 2000; 1,2 පිටු). එමෙන් ම පැරණි ශ්‍රී ලංකාවේ නීතිය සම්බන්ධ ප්‍රාථමික මූලාශ්‍රයක් වශයෙන් වැදගත් වන නීති නිඝණ්ඩුවේ නීතිය හඳුන්වා ඇත්තේ “පළමු රජ දරුවන් විසින් නියම කරන ලද ව්‍යවහාර යුක්ති නොකඩ කොට එලෙසම පැවැත්වීම නීති නම් වන බවයි” (විජයතුංග, නීති නිඝණ්ඩුව, 2014). මේ අනුව කලින් සිටි රජදරුවන් විසින් නියම කරන ලද දේ ද, චාරිත්‍ර ද, යුක්තිය ද නොකඩ කොට පවත්වා ගැනීම නීතියයි. ඒ අනුව නීතිය යන අර්ථකථනය මගින් ගම්‍ය වන්නේ එක ම අදහසකි. එනම් සමාජයේ යහපැවැත්ම සඳහා දණ්ඩනය පදනම් කරගෙන පවතින ව්‍යවස්ථා මාලාවකි. නැතහොත් එක් පාර්ශ්වයකගේ අයිතීන් හා අනෙක් පාර්ශ්වයේ යුතුකම් සහතික කිරීම සඳහා වූ බැඳුණු වගකීම් සමූහයකි. මහනුවර යුගයෙහි පැවති නීතිය හැදෑරීමට ඇති ප්‍රධානතම මූලාශ්‍රය බොහෝ දුරට බි්රතාන්ය යුගයෙහි මුල් කාලයෙහි සපයන ලද වාර්තා සහ පොත්පත් ය. මෙයට අතිරේක ව රජුන් විසින් ප්රදානය කරන ලද තඹ සන්නස්, තල්පත් හා සීට්ටු ආදිය ද වැදගත් වේ (මනම්පේරි, මහනුවර රාජධානියෙහි නීතිය සහ අධිකරණය, 1991; 15පිටුව). මේ අතරින් ඉඩම් භුක්තිය හා බැඳුණු නීතිමය තත්ත්වය පිළිබඳ සීට්ටු මගින් විමසා බැලීමට අපේක්ෂිත ය. ඉඩම් නඩුවල තීන්දු අනුව ඉඩම් පවරමින් විශේෂයෙන් ම ඒ සඳහා නීත්‍යනුකූල ව බලය ලත් පුද්ගලයෙකු (උදා- අධිකාරම, දිසාව ආදීන්) විසින් තම අත්සන යොදා නිකුත් කරන ලද ලිඛිත ආඥා සීට්ටු නම් වේ. සීට්ටු මගින් නඩුවට සම්බන්ධව දෙපක්ෂයේ නම් ගම් ද, ආරවුලට භාජනය වූ ඉඩමේ නම, අධිකරණයේ තීන්දුව සහ දිනය යන කරුණු අඩංගු වේ. නඩුවෙන් දිනූ පක්ෂයට මේ සීට්ටුව දෙන ලදී. සීට්ටු වර්ග කිහිපයකි. (i) රජතුමාගේ අණ පිට අධිකාරම විසින් සන්නසකින් මෙන් ප්රවේණි උරුමයට ඉඩම් පවරා දුන් ලියවිල්ල වදාර පනතින් සීට්ටුව නම් විය. (ii) ඉඩම් නඩුවල දී දිව්රීම සඳහා පිළියෙල කරගත් මෙන් ම දිව්රීමෙන් තීන්දු වූ නඩුවකින් ජයගත් පක්ෂයට දෙන ලද ලේඛන විශේෂය දිවි සීට්ටු නම් විය. මහනුවර සමයේ පැවති ඉඩම් ආරවුල් සහ එහි නීතිමය තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී මූලාශ්‍රයක් ලෙස සීට්ටු කෙතරම් දුරට භාවිත කළ හැකි ද යන්න විමසීම පර්යේෂණ ගැටලුව වේ. මහනුවර සමයේ පැවති ඉඩම් ආරවුල් සහ එහි නීතිමය තත්ත්වය පිළිබඳ ප්‍රාථමික මූලාශ්‍රය මගින් තුලනාත්මක ව බැලීම මෙම පර්යේෂණයේ ප්‍රධානතම අරමුණ වේ.