Abstract:
සාමාන්‍ය මිනිසෙකුගේ ශාරීරික හා මානසික ලක්ෂණවලින් තොර වූ පුද්ගලයන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙස හඳුන්වන අතර අතීත පාලන තන්ත්රයේ ඔවුන් කෙරෙහි දැක් වූ සංවේදීතාව හඳුනාගැනීම වැදගත් ය. ලෝක ඉතිහාසයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් මරා දැමූ අවස්ථා සහ ආයතන ගත කළ අවස්ථා හමු වේ. නූතන ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ආයතන ගත කිරීම දැකගත හැකි ය. එසේම ඔවුන් සුබසාධනය මත පමණක් යැපෙන්නන් ලෙස ද යාචකයන් ලෙස ද ජීවත් වේ. රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් විවිධ වැඩසටහන් හා නීති ක්‍රියාත්මක කළ ද සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට නොහැකි වී තිබේ. නූතන ලෝකයේ පවතින තත්ත්ව නිසා මෙහි අතීත පසුබිම සකස් වී පැවතියේ කෙසේ ද යන්න පිළිබඳව හඳුනාගැනීම වැදගත් වේ. ආබාධිත පුද්ගලයන් බිහිවීම සඳහා යුද්ධ, දඬුවම් ක්‍රම සහ ස්වභාවික හේතු ආදිය බලපාන ලදී. ඒ අනුව උක්ත හේතු නිසා බිහි වූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් කෙරෙහි රජරට පාලකයන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයෙන් සිදු විය.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් නිර්මාණය කිරීමත්, ඔවුන්ට සුභසාධන සැලසීමත් සඳහා රජරට පාලකයන් දැක්වූ දායකත්වය කෙබඳු ද යන්න අධ්‍යයනය කිරීම මෙහි පර්යේෂණ ගැටලුව වේ. නූතන සමාජයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් කෙරෙහි අඩු අවධානයක් යොමු වී තිබේ. සුළුතර ජන පිරිසක් නියෝජනය කරන ආබාධිත පුද්ගලයන් සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් ව හුදෙකලාව ජීවත් විය යුතු පිරිසක් නොවේ. නූතනයේ ජීවත් වන එවන් පුද්ගලයන් දෙස අවධානය යොමු කිරීමේ දී ඔවුන්ගේ ඓතිහාසික භූමිකාව කෙසේ වන්නට ඇති ද යන්න සොයා බැලීම වැදගත් වේ. ඒ අනුව මෙහි ප්රමුඛ අරමුණ බවට පත් වන්නේ ආබාධිත පුද්ගලයන්ගේ ඓතිහාසික තොරතුරු පිළිබඳ විමර්ශනය කිරීමයි. රජරට රාජ්‍ය පාලනයේ එවැන්නන් සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති මොනවාද යන්න හඳුනා ගැනීම හා එකල විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් කෙරෙහි ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති නූතන සමාජයට ඵලදායි ලෙස යොදා ගත හැකි ආකාරය පෙන්වා දීම ද මෙම අධ්‍යයනයේ සෙසු අරමුණු වේ.