Abstract:
අලි-මිනිස් ගැටුම ශ්‍රී ලාංකේය සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැනනැගී ඇති දික්ගැස්සුණු සමාජ ගැටුමක් වේ. ගැටුම වැලැක්වීම සදහා විවිධ ක්‍රියාමාර්ගයන් ගනු ලැබුවත් සමකාලීන සමාජය තුළ මෙම ගැටුම තවදුරටත් වර්ධනය වීමක් දැකිය හැකිය. ගැටුම තුළ සහජාතිය හා විෂමජාතීය ලක්ෂණ අන්තර්ගත වීමත් එම ලක්ෂණ ගැටුම තිරස් ගැටුමක් බවට සමාජගත වීමට අවශ්‍ය සාධනිය පසුබිම ගොඩනංවා ඇති බව සනාථ කළ හැකිවේ. අලි-මිනිස් ගැටුම වැලැක්වීම සදහා විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය කරනු ලැබුවත් එම ගැටුම සමාජය තුළ තවදුරටත් වර්ධනය වී පවතින්නේ ඇයි ?යන්න අධ්‍යයන ගැටලුව වේ. අලි-මිනිස් ගැටුම කෙරෙහි ග්‍රාමීය සමාජ, දේශපාලන හා ආර්ථික සාධකයන්හි බලපෑම හඳුනා ගැනීම අධ්‍යයනයේ අරමුණ විය. අධ්‍යයන සදහා සමීක්ෂණ ක්‍රමවේදය යටතේ මිශ්‍ර ක්‍රමය උපයෝගී කර ගන්නා ලදී. ප්‍රමාණාත්මක දත්ත ඒකරාශී කරගැනීම සඳහා ප්‍රශ්නමාලා ක්‍රමය භාවිතා කළ අතර ගුණාත්මක දත්ත ඒකරාශී කරගැනීම සඳහා කේන්ද්‍රගත සාකච්ඡා හා නියමු සාකච්ඡා භාවිත කරන ලදී. සසම්භාවී නියැදිය යටතේ ස්තෘත නියැදිය අධ්‍යයනය සඳහා භාවිතා කළ අතර නියැදියට අදාළව ප්රතිචාරකයන් 50ක් තෝරා ගන්නා ලදී. මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හම්බෙගමුව හා හම්බෙගමුව ජනපදය ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක අධ්‍යයන ක්ෂේත්රය ලෙස උපයෝගී කරගන්නා ලදී. ජාතික දේශපාලන බල ව්‍යුහය ග්‍රාමීය සමාජයේ දේශපාලන ක්‍රමයට බලපෑම් කිරීමත් දේශපාලන හිතෛෂීත්වය මත ඉඩම් විකිණීම, හොටෙල් ව්‍යාපාර ආරම්භ වීම හා කොම්පෝට් ව්‍යාපෘති රක්ෂිතය තුළ ආරම්භ කිරීම නිසා සත්ව ප්‍රජාවගේ නිජබිම් අහිමිවීම ගැටුමට සදහා ප්‍රධාන සාධකයන් වී ඇති බව අනාවරණය විය. මේනිසා ජීවනෝපාය මාර්ග අහිමිවීම, කෘෂිකර්මාන්තයෙන් ඉවත් වී ඉදිකිරිම් කර්මාන්ත සදහා ප්‍රජාව ප්‍රවේශ වීම ගැටුමේ අනාවරිත සාධක වෙති. එමෙන්ම ආරක්ෂණ යාන්ත්‍රණය බිද වැටීම, ගෘහස්ථ හිංසනය, අඩු වයස් විවාහයන් ඇතිවීම, පරපෝෂීය ප්‍රජා කණ්ඩායම් ග්‍රාමීය සමාජය තුළ නිර්මාණය වීම ගැටුම තුළින් අනාවරණය වු සෙසු කාරණා විය. ගැටුමත් සමග නව සංස්කෘතික පරිසරයක් ග්‍රාමීය සමාජය ස්ථාපිත වී ඇති අතර එම නව සංස්කෘතික පරිසරය තුළ ප්‍රජාව අනුවර්තනය වීමක් සිදුවී ඇත. මේනිසා ගැටුම වැලැක්වීමට වඩා සමථන කාර්යක් තුළින් විසදුම් ක්‍රියාවලියකට යොමු වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කළ යුතු වේ.