Abstract:
ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයේ වැදගත් ප්‍රවණතාවක් ලෙස ජාතක කතා පදනම් කරගත් ගීත රචනා පෙන්වා දිය හැකි ය. ජාතක කතා තරම් මනුෂ්‍ය ජිවිතය පිළිබඳ විවරණය වු තවත් සාහිත්‍යාංගයක් නොමැති තරම් ය. සමකාලීන සමාජයේ සමාජ, ආර්ථික, දේශපාලනික හා සාංස්කෘතික පසුබිම පිළිබිඹු කරන වැදගත් සාහිත්‍යාංගයක් ලෙස ජාතක කතා සැලකිය හැකි ය. “ පෙදෙන් බුදු සිරිත” නම් වු සියබස්ලකර නියමය අනුව යමින් රචිත කාව්‍ය සඳහා ද බුදු සිරිතටත් වඩා බෝසත් සිරිත වස්තුවිෂය වු බව පුරාතන පද්‍ය සාහිත්‍ය දෙස විමසීමේදී පැහැදිලි වේ. පුරාතන පද්‍ය සාහිත්‍යයේ පමණක් නොව, ගද්‍ය සාහිත්‍යයේ ද සුවිශේෂි වස්තු විෂයක් වු ජාතක කතා ගීත සාහිත්‍යයේ ද බොහෝ ගීත රචනා සඳහා වස්තු විෂය වී තිබේ.ගීත සාහිත්‍ය සඳහා ගීත රචකයන් ජාතක කතා තෝරා ගැනීමේදී විවිධ දෘෂ්ටි ඔස්සේ ගීත රචනා කර ඇත. මෙම පර්යේෂණය මඟින් සිදු වුයේ ගීත සඳහා පාදක වු ජාතක කතාවන්හි ජාතක කතාවල දෘෂ්ටිය හා එම ජාතක කතා දෙස ගීත රචකයන් හෙළුෑ දෘෂ්ටිය විමර්ශනය කිරීම ය. එහි දී එක් එක් ගීත රචකයන් ජාතක කතාවේ විවිධ චරිත ඔස්සේ යමින් එම චරිත සිතන අකාරය ගීත රචකයාගේ දෘෂ්ටියෙන් ඉදිරිපත් කර තිබේ. එහි දී ගීත රචකයාගේ මනෝභාව ජාතක කතාවේ චරිතයන්හි මනෝභාව ලෙස නිරූපණය වී තිබීම සුවිශේෂත්වයකි. එක ම ජාතක කතාව දෙස එක ම ගීත රචකයා මෙන් ම, විවිධ ගීත රචකයන් හෙළුෑ දෘෂ්ටි එකිනෙකට වෙනස් ය. අප දන්නා සම්මත කතා පුවත හුදෙක් ගීතය මඟින් ඉදිරිපත් නොකොට, එක් එක් චරිත ඔස්සේ ඔවුන්ගේ මනෝභාව ගීත මඟින් ඉදිරිපත් කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. පුස්තකාල සමීක්ෂණ ක්‍රමවේදය සහ අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමවේදය (Content Analysis) භාවිත කරමින් මෙම පරියේෂණය සිදු කරන ලදි. ජාතක කතාකරුවාගේ දෘෂ්ටියත්, එකී ජාතක කතා දෙස ගීත රචකයන් හෙළුෑ දෘෂ්ටියත්, ජාතක කතාවේ චරිත එකී ජාතක කතාව දෙස හෙළුෑ දෘෂ්ටියත් සංසංදනාත්මක ව හඳුනා ගැනීමට මෙමඟින් හැකි විය. එහි දී ජාතක කතාව හා ගීතය අතර සමානතා, විෂමතා හා පරස්පරතා ඇති බවත්, ජාතක කතා වර්තමාන සමාජය හා සමඟ ගළපා ගීත රචනා කර ඇති බවත් නිගමනය කළ හැකි විය.