Abstract:
අවතැන්වූවන් යනු සන්නද්ධ ගැටුම්කාරී ප්රපංචයන් නිසාම හට ගන්නා වු ප්‍රතිඵලයක් නොවන්නේ ය. ඒ සඳහා ස්වභාවික හේතු සාධක සහ මානවකාරක හේතු සාධක ද බලපෑම් කරනු ලැබේ. මේ අතුරින් මානවකාරක ප්රපංචයන් හේතුවෙන් බිහිවන අභ්‍යන්තරික අවතැන් වූවන්ගේ සංඛ්‍යාව ප්‍රමාණයෙන් ඉතා විශාල ය. මතු පිටින් පමණක් සාමය ළඟාකරගනු ලැබූ පශ්චාත් ගැටුම් සමාජ අවධියක් පසු කරමින් සිටින ශ්‍රී ලංකා සමාජය තුළ සන්නද්ධ ගැටුම් හේතුවෙන් අභ්යනතරික වශයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු මේවන විට අවසන් කර ඇති අතර එසේ ඔවුන් පදිංචි කළ ද තව දුරටත් ගැටලු සහ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බව පුලුල් ලෙස පිළිගන්නා කරුණකි. මෙම අධ්‍යයනයේ ප්‍රධාන ගැටලුව වන්නේ පශ්චාත් ගැටුම් සමාජය තුළ නැවත පදිංචි කරන ලද අභ්‍යන්තරික අවතැන්වූවන්ට ගැටලු සහ අභියෝගයන් මොනවාද යන්නයි. මෙහි ප්‍රධාන අරමුන වුයේ එලෙස නැවත පදිංචි කරන ලද අභ්‍යන්තරික අවතැන්වූවන් මුහුණපානු ලබන්නේ කවරාකාර ගැටලු ද යන්න සොයා බැලීම යි. පර්යේෂණයට අදාළව ප්‍රථමික සහ ද්විතීයික දත්ත භාවිතයට ගනු ලැබු අතර ප්‍රාථමික දත්ත ලබා ගැනීමේ දී සම්මුඛ සාකච්ජා සහ ප්‍රශ්නාවලි ක්‍රමය යොදා ගත් අතර ද්විතීයික මූලාශ්‍ර වශයෙන් මේ සම්බන්ධව ප්‍රකාශයට පත්ව ඇති ග්රන්ථ, සඟරා, පුවත්පත්, ලිපි, වාර්තා, ආදිය යොදා ගැනුණි. වගු හා ප්‍රස්ථාර යොදා ගනිමින් දත්ත විශ්ලේෂණ සිදු කරනු ලැබුණි. පර්යේෂණයට අදාළ ව අධ්‍යයන ප්‍රදේශය වශයෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මහින්දපුර සහ තංගනගර් යන ග්‍රාම නිළධාරී වසම් දෙක තෝරා ගැනුණි. නැවත පදිංචි කරන ලද අභ්‍යන්තරික අවතැන්වුවන් බහුල වශයෙන් ජිවත්වන ප්‍රදේශයක් වීම හේතුවෙන් අධ්‍යයන ප්‍රදේශ වශයෙන් මෙම ප්‍රදේශය තෝරා ගැනුණි. මෙම අධ්‍යයනය මඟින් පශ්චාත් ගැටුම් සමාජය තුළ අභ්‍යන්තරික අවතැන්වූවන් නැවත පදිංචි කිරීමෙන් අනතුරුව ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලනික ආදි වු විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව හඳුනාගත හැකි විණි. ඒ අතර ජිවනෝපායන් අහිමි වීම, ආරක්ෂාව සම්බන්ධව පවත්වනා ගැටලු, සමාජ අනුකලනයේ දී සිදුවන බාධා, අනන්‍යතා සම්බන්ධ ගැටලු ආදිය ප්‍රධානකොට ගත හැකි ය.