Abstract:
වර්තමානයේ දී විවෘත ආර්ථික වෙළඳ රාමුව තුළ අධ්‍යාපනය ද වාණිජකරණයට ලක් වී ඇත.එහෙයින් ළදරු පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා ම උපකාරක පන්ති බිහි වී තිබේ. මේවායෙහි ඒකායන පරමාර්ථය, වාණිජකරණයට ලක් වී ඇති අධ්‍යාපනය ඉගැන්වීමේ හා ඉගෙනීමේ බලය, තමා සතුකර ගැනීමට තරඟ කිරීමයි. අ.පො.ස උසස් පෙළ සිංහල විෂය උපකාරක පන්තිවල උගන්වන ගුරුභවතුන් අතර ද මෙවැනි ම වාණිජමය වූ නොනවතින තරඟයක් දක්නට හැකිය. ඔවුන් අතර ආචාර්ය, මහාචාර්යවරු ද පශ්චාත් උපාධිලාභීහු ද, උපාධිලාභීහු ද, උසස් පෙළ පමණක් සමත්හු ද සිටිති. ඔවුහු තම සිංහල විෂය උපකාරක පන්ති සඳහා සිසුන් දැනුවත් කිරීමත්, ආකර්ෂණය කර ගැනීමත් අරමුණු කරගත් ප්‍රචාරණ දැන්වීම් සඳහා විවිධ උපක්‍රම භාවිත කරති. මෙහිදී සිංහල විෂයට අදාළ ව්‍යාකරණ, අර්ථ විභාග, සෞන්දර්ය රසාස්වාදය හා සම්බන්ධ විශේෂිත භාෂාත්මක යෙදුම් රාශීයක් හමුවේ. මීට අමතරව සිංහල විෂය ඉගැන්වීම සඳහා තමා සතු නිර්මාණාත්මක දැනුම, පළපුරුද්ද හා සුදුසුකම් අවධාරණය පිණිසත් ප්රචාරණයේ දී භාෂාව හසුරුවාගෙන තිබේ. විශේෂයෙන් උසස් පෙළ හදාරන සිසු දරු දරියන්ගේ යොවුන් මනසට ආමන්ත්‍රණය කෙරෙන ආකර්ෂණීය භාෂාත්මක යෙදුම් භාවිතයේ දී හරසුන් අවරගණයේ යෙදුම් සමහරක් ද දක්නට පුළුවන. උසස් පෙළ සිංහල විෂය උපකාරක පන්තිවල ප්රචාරණයේ ඇති මේ ආකර්ෂණීය රටාව සිංහල භාෂා සාහිත්‍යයේ අනාගත පැවැත්මෙහි පිළිබිඹුවක්දැයි විමසිය යුතු ප්රශ්නයකි. මන්ද මේ වන විටත් සිංහල භාෂාවේ අනාගත පැවැත්ම පිළිබඳව විවිධ සැක සංකා මතුවෙමින් පවතින නිසාය. මේ තත්ත්වය, උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් විෂයක් වශයෙන් සිංහල තෝරා ගැනීමේ අඩු ප්‍රවණතාවක් පැවතිමෙන් ද සනාථ වේ. රාජ්‍ය ආයතනවල මෙන් ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ද සිංහල භාෂා භාවිතයේ දුර්වලතා බහුලව ප්‍රදර්ශනය වෙයි.