Abstract:
වරදකාරීත්වයෙන් මිදීමේ පරිපූර්ණත්වයට මඟපෙන්නවන බුදුදහම, පුද්ගල මනෝකේන්ද්රීය
උත්තම දර්ශනයයි. පුද්ගල මානසිකත්වයෙහි ප්‍රබලත්වය මත සිදු කෙරෙන නානාවිධ වැරදි
තත්ත්ව පුද්ගල පරිහානියට ඍජුව ම හේතු වන බව බුදුදහම දැඩි ව අවධාරණය කර ඇත.
පුද්ගල යහපත අරමුණු කරගනිමින් එම වැරදි තත්ත්වයන්ගෙන් පුද්ගලයා මුදවා ගැනීමට
අවශ්‍ය විවිධ ක්‍රියාමාර්ග බුදුදහමේ ඉදිරිපත් ව ඇත. සුවිශේෂ වනුයේ එම සෑම
ක්‍රියාමාර්ගයක් ම මනෝ ආමන්ත්රණීය බවකින් උපයුක්ත ව තිබීමයි. දඬුවමක් යන්න තුළ
කායික පෙළීමක් පමණක් ඉස්මතු වන තත්ත්වයක් දැකගත හැකි අතර එසේ ම පර්යේෂණ
ක්ෂේත්රය තුළ දඬුවමක මනෝකේන්ද්රීයත්වය පිළිබඳ අධ්‍යයනයන් ද විරලය. එනිසාවෙන්
මෙම පර්යේෂණ මාතෘකාව පර්යේෂණ ක්ෂේත්රයෙහි නව්‍යත්වයක් නියෝජනය කිරීමට ද
වඩාත් යෝග්‍ය වූවකි. මූලාශ්‍රය අධ්‍යයනය පදනම් කරගනිමින් සංධාර විශ්ලේෂණ
ක්‍රමවේදය යටතේ මෙම පර්යේෂණය සිදුකෙරේ. වරදකට ලබාදෙන දඬුවමක පවත්නා
මනෝකේන්ද්රීයභාවය, එම දඬුවම ලබන පුද්ලයාගේ යහපැවැත්ම විෂයෙහි ප්‍රබල
හේතුවක් වන බව විවරණය කිරීම, මනෝකේන්ද්රීය දඬුවමක පවත්නා අතිශය ප්‍රබල බව
ඉස්මතු කිරීම මෙම පර්යේෂණයේ අරමුණු වේ. මේ සඳහා ප්‍රාථමික මුලාශ්‍රය ලෙස විනය
පිටකයෙහි පාරාජිකපාළියෙහි දැක්වෙන දඬුවම් ක්‍රම කිහිපයක් සම්බන්ධ තොරතුරු භාවිත
කර ඇති අතර මේ සම්බන්ධ ව ලියැවී ඇති ලිපි ලේඛන ද්විතියික මූලාශ්‍රය ලෙස භාවිත
කරමින් අදාළ දත්ත රැස් කිරීම සිදුවේ. වරදක් සඳහා වූ දඬුවම මනෝකේන්ද්රීය වීම තුළ
පුද්ගල යහපැවැත්මට සැපයෙන ප්‍රබල දායකත්වය පිළිබඳ ව මනා අවබෝධයක් මෙමගින්
ලබාගත හැකි අතර විමර්ශනාත්මක ව පර්යේෂණයට ලක්කළ තොරතුරුවල සමස්තයට
අනුව වරදකට ලබාදෙන්නා වූ දඬුවමෙහි වන මනෝකේන්ද්රීයත්වය අතිශය ප්‍රබල බව හා
එය දඬුවම ලබන පුද්ගලයාගේ යහපැවැත්මට ඍජුව ම හේතු වන බව නිගමනය කළ හැකි
ය. ඒ අනුව මෙම පර්යේෂණ වෑයම මගින් පුද්ගලයා වරදකාරී අවස්ථාවන්ගෙන් වළකා,
පුද්ගල යහපැවැත්ම විෂයෙහි දඬුවම් ක්‍රම භාවිත කිරීමේ දී ඒවායේ මනෝමය පසුබිම
කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මඟපෙන්වීමක් සිදු වේ.