Abstract:
ගම්පොළ අවධියේ දෙවන ධර්මකීර්ති මාහිමියන් විසින් රචිත සද්ධර්මාලංකාරය පාලි රසවාහිනිය මූලාශ්‍රය කරගෙන ඇති අතර එය කතාන්දර අනුසාරයෙන් ධර්ම ව්‍යාඛ්‍යානයක් ඉදිරිපත් කිරීමට දැරූ ප්රයත්නයක් සේද සැලකිය හැකි ය. පාලි භාෂාවෙන් හා ධර්මය ඇසුරෙන් ප්‍රචාරය වූ ධර්ම ග්‍රන්ථවල අඩංගු කරුණු වටහා ගැනීමට නොහැකි පාඨක ජනයාට ධර්මය වටහා දීම අරමුණු පෙරදැරි කරගනිමින් සද්ධර්මාලංකාරය රචනා කර ඇත. එකල ලාංකේය සමාජය තුළ බුදු දහම පැතිරවීම පදනම් කොටගෙන බෞද්ධ සාහිත්‍ය දියුණු විය. එයින් ඒ ඒ යුගවල පැවති ඓතිහාසික කරුණු, භාෂා රටා, රචනා ශෛලිය, සංස්කෘතිය පිළිබඳ තොරතුරු උකහා ගැනීමට සාහිත්‍ය ග්රන්ථවලින් හැකියාව ලැබේ. ලංකා ඉතිහාසය හැදෑරීමේදී වැදගත් ග්රන්ථයක් වන සද්ධර්මාලංකාරය මගින් තත් කාලීන දේශපාලන, සංස්කෘතික, ආර්ථික හා සමාජ තොරතුරු ඔස්සේ එකල පැවති පැරණි ජන ජීවිතය, පාරිසරික තොරතුරු, සමාජ රටාව හා ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගත හැකි ය. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ එම අවධියේ තිබුණු අතීත සමාජ තතු පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම යි. ‘ගම්පොළ අවධියේ ලංකාවේ පැවති සමාජ තොරතුරු කවරේද?’ යන්න පර්යේෂණ ගැටලුව යි. නන්දිවාණිජ කතාවෙන් හෙළිවන තොරතුරු අනුව එකල සාපේක්ෂව දියුණු සමාජ තත්ත්වයක් පැවති බවට උපකල්පනය කළ හැකිය. මෙය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ පුස්තකාල සමීක්ෂණ ඇසුරෙන් සපයා ගන්නා ලද ප්‍රාථමික හා ද්විතියීක මූලාශ්‍රය භාවිතයෙන් සිදු කරන ලද අධ්‍යයනයකි. මෙහිදී ප්‍රථමයෙන් සද්ධර්මාලංකාරය අධ්‍යයනය කරමින් එයින් ගම්‍ය වන තත් කාලීන සමාජීය තොරතුරු පරීක්ෂා කරන ලදී. ඉන්පසු සමාජීය වශයෙන් ඒවා බෙදෙන ආකාරය වර්ගීකරණය කරන ලදී. ඒ ඒ වර්ග යටතේ ඇති සමාජීය තොරතුරු පෙළ ගස්වන ලදී. තත් කාලීන දේශපාලන, සංස්කෘතික, ආර්ථික හා සමාජ තොරතුරු ඔස්සේ එකල පැවති පැරණි ජන ජීවිතය පාරිසරික තොරතුරු, සමාජ රටාව හා යුගයේ ඓතිහාසික තොරතුරු හඳුනාගත හැකි විය. උපකල්පනය කළ පරිදි ගම්පොළ යුගයේ දියුණු සමාජ පසුබිමක් තිබුණු බව අනාවරණය කර ගත හැකි විය.