Abstract:
ශ්‍රී ලංකා ඉතිහාසයේ හමුවන රාජධානි අතර අප්‍රකට රාජධානියක් වශයෙන් රයිගම රාජධානිය හඳුන්වා දිය හැකි ය. ගම්පොළ රාජධානියට සමකාලීනව පැවත එන රයිගම රාජධානිය සම්මත වර්ෂ දහතුන්වන සියවසේදී පමණ ආරම්භ වී ඇති බවට සාහිත්‍යමය සාධක පවතින අතර දසවන අලකේශ්වර මෙම රාජධානියේ ආරම්භක පාලකයා වශයෙන් සැලකෙයි. විශාල ප්‍රාකාර බැම්මක් සහිත බලකොටුවක් නැතහොත් මාලිගාවක් ඉදිකරන ලද මොහුගේ පාලන තන්ත්රයෙන් පශ්චාත්කාලීනව අලකේශ්වර පවුලට අයත් පාලකයන් නවදෙනෙකු පමණ රාජ්‍ය විචාළ බව සඳහන් වෙයි. තත්කාලීන ව දියුණු සමාජ ක්‍රමයකට හිමිකම් දරන රයිගම රාජධානිය ජනාකීර්ණ හා ආර්ථික සමෘද්ධියෙන් සන්නද්ධ ව පැවති ප්‍රදේශයක් බවත්, මෙහි රාජකීයයන් වාසය කළ බවත් මයූර සන්දේශය වැනි මූලාශ්‍රයයෙන් අනාවරණය කෙරෙයි. එසේ ම පුරාවිද්‍යා කැණීම්වලදී පතහවත්ත ශ්‍රී පුෂ්කරාරාම විහාර පරිශ්‍රයෙන් හමු වූ කබොක් ගල්වලින් ඉදිකරන ලද විශාල ප්‍රාකාරය, විශාල පොකුණ, සඳකඩ පහණ, ස්මාරක හා ගල් කණු රයිගම් රාජධානියේ අතීත රජ මාලිගයේ නටබුන් බවට සසාධක ව සනාථ කොට ඇත. මෙහි පර්යේෂණ ගැටලුව වනුයේ රයිගම රාජධානියේ රජ මාලිගය හා අලකේශ්වර ප්‍රභු පවුල ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ කවර කාරණා හේතු කොටගෙන ද යන්නයි. මෙම පර්යේෂණයේ අරමුණ වනුයේ රයිගම රාජධානියේ රජ මාලිගයේ ඓතිහාසික වටිනාකම පිළිබඳ විමර්ශනය කිරීමයි. මෙය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ ක්ෂේත්‍ර අධ්‍යයනය හා පුස්තකාල සමීක්ෂණය ඇසුරින් සපයා ගන්නා ලද ප්‍රාථමික හා ද්විතීය මූලාශ්‍රය භාවිතයෙන් සිදු කරන ලද අධ්‍යයනයකි. මෙම අධ්‍යයන කාර්යයේදී ශ්‍රී පුෂ්කාරාම විහාර පරිශ්‍රය නිරීක්ෂණය කොට අනතුරුව විෂය ප්‍රාමාණික විද්වතුන්ගේ අදහස් ලබාගන්නා ලදී. කලින් කල විවිධ පාලකයන්ගේ වෙනස්කම්වලට ලක්වූ රයිගම් රාජධානිය ඓතිහාසික වශයෙන් වැදගත් වීමට එහි මාලිගාවේ වාස්තු විද්‍යාව හේතු වූ බව මෙමඟින් හඳුනා ගත හැකි විය. එනයින් තත්කාලීන සමාජයේ දියුණු ගෘහ නිර්මාණ ශිල්පයක් හා වාස්තු විද්‍යාත්මක පසුබිමක් පැවති බවත් මෙනයින් නිගමනය කළ හැකිය.