Abstract:
මානවයාගේ පැවැත්මට වඩාත්ම වැදගත් වූ සංකල්පයක් වනුයේ තම ජිවිතය රෝග පීඩාවලින් තොරව පවත්වා ගැනීමයි. මානව ප්‍රජාව සතුව පවතින සවිඥානික බව නිසාම මේ සඳහා ක්‍රියා කරනු ලබන ආකාරය වඩා වැදගත් වෙයි.පුරාණ ලාංකික ජනතාව ස්වස්ථතාව හා සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වී ඇත. ස්වස්ථතාව හා සනීපාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් හමුවන පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය මුලාශ්‍ර මඟින් උක්ත කරුණ සනාථ වෙයි. පරම සැපත නිරෝගිමත්ව ජීවත්වීම බව ධම්ම පදය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එසේම භික්ෂු සමාජයට සෞඛ්‍යය සම්පන්නව ජිවත්වීමට අවශ්‍යය වත්පිළිවෙත් චූලවග්ග පාලිය, මහාවග්ග පාලිය, පාරාජිකා පාලිය ආදී වූ විනය පිටකයට අයත් ග්රන්ථ තුළ දේශනා කර ඇත. පුරාණ ලංකාවේ මුල්ම ජනාවාස ව්‍යාප්තවීමත් සමඟ සෞඛ්‍යය සංරක්ෂණ ක්‍රමවේදයන්හි අවශ්‍යතාව ලාංකික ජනතාවට ඇති විය. පුරාණ ලංකාවේ පාලකයන්ද ජනතාවට නිරෝගිමත්ව ජීවත්වීමට අවශ්‍යය පහසුකම් සලසා දුන්හ. IVවන කාශ්‍යප රජතුමාගේ කිරිබත් වෙහෙර ටැම් ලිපියේ වෛද්‍ය ශාලාවකට පරිත්‍යාග කරන ලද ඉඩමක් පිළිබඳව සඳහන් වෙයි. මිහින්තලා පුවරු ලිපියේ වෛද්‍යවරු ලැබු වැටුප් පිළිබඳව සඳහන් කර ඇත. ස්වස්ථතාව හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් හමුවන පුරාවිද්‍යාත්මක සාධක අතර රෝහල් හා ඒ ආශ්රයෙන් හමුවන බෙහෙත් ඔරු, ශල්‍ය වෛද්‍ය උපකරණ, ඇඹරුම් ගල්, බෙහෙත් ගබඩා කරන බඳුන්, බෙහෙත් කිරන තරාදි, ජන්තාඝාර, වැසිකිලි, අපවිත්‍ර ජලය පිටවන කාණු පද්ධති ආදිය වැදගත් වෙයි. වැසිකිළි, කැසිකිළි ආශ්රයෙන් හමුවන පෙරහන් ක්‍රමය පරිසර හිතකාමී ක්රමවේදයකි. මෙම සධක මඟින් පුරාණ ලංකාවේ සෞඛ්‍ය සංරක්ෂණය සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කරන ලද බව සඳහන් කල හැකිය. ක්ෂේත්‍ර අධ්‍යයනය හා පුස්තකාල අධ්‍යයනය මඟින් දත්ත රැස්කිරීම කරනු ලැබු අතර, එමඟින් පුරාණ ලාංකික ජනතාව ස්වස්ථතාව හා සනීපාරක්ෂාව රැක ගැනීම සඳහා ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කෙරිණි.