Abstract:
නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි ශික්ෂණය ලබන්නෙකු විසින් අවශ්‍යයෙන් ම පිළිපැදිය යුතු ශීලයක් ලෙස විවරණය කෙරෙන ඉන්ද්රිය සංවර ශීලයෙන් ඉන්ද්රිය සංවරය ඇති කරගන්නේ කෙසේ ද? යන්න අර්ථවත් කෙරෙයි. එම ශීලය පැහැදිලි කරන සුත්‍ර දේශනාවන්ට අනුව “භික්ෂුව ඇසින් රූපයක් දැක, දකින ලද රූපය පිළිබඳ නිමිත්ත මෙන් ම රූපයට සම්බන්ධ අනුවඤ්ජන ද නො ගනියි. චක්ඛුන්ද්රීයයේ අසංවරය හේතුවෙන් දැඩි ලෝභය හා දොම්නස යන පවිටු අකුශල ධර්මයෝ තමා ව මර්දනය කරතියි ඇන ගන්නා භික්ෂුව චක්ඛුන්‍ද්‍රිය සංවර කරගන්නා අයුරින් ම සිය සොතින්ද්රිය, ඝාණින්ද්රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය හා මනිද්රිය යන ඉන්ද්රියයන් ද සංවර කරගැනීමට භික්ෂුව ක්‍රියා කරන බව එම සුත්‍රයෙහි තවදුරටත් සඳහන් වේ. ඉහත සඳහන් උද්ධෘතයෙහි ඇතුළත් ‘ඇසින් රූප දැක’ යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්දැයි විවරණය කරන විසුද්ධිමග්ගය “ උපකරණාර්ථයෙන් ඇස යැයි විවහාර කරනු ලබන රූප දැකිමේ හැකියාව සහිත චක්ඛු විඤ්ඤාණයෙන් රූප දකින” බව සඳහන් කරයි. උක්ත උද්ධෘතයෙහිම ඇතුළත් චක්ඛුඉන්ද්රීය සංවර කරගැනීම පැහැදිලි කරමින් චක්ඛුන්ද්රීයෙහි සංවර බවක් හෝ අසංවර බවක් හෝ නොමැති බවත් විසුද්ධි මග්ගය පෙන්වා දෙයි. එම කරුණු තව දුරටත් විවරණය කරමින් රූපය චක්ඛුප්පසාදයේ ගැටීම හේතුවෙන් ක්‍රියාත්මක වන්නා වු චක්ඛුද්වාර චිත්ත වීථියට අයත් ජවන් අවස්ථාවෙහි උපදින්නා වු දුසිල් බව හෝ සතියේ මුළාව හෝ නො දැනීම හෝ නො ඉවසීම හෝ කුසීත බව හෝ හේතුවෙන් චක්ඛුන්ද්රීයයේ සංවරය සිදුවන බවත් ප්‍රකට කරයි. චක්ඛුන්ද්රීය සංවර කර ගැනීම පිළිබඳ මෙම විවරණය අනෙකුත් ඉන්ද්‍රීයන්ට ද ඒ අයුරින්ම ආදළ බව විසුද්ධිමග්ගයෙහි සඳහන් වේ. මේ අනුව පැහැදිළි වන්නේ සුත්‍ර දේශනාවන්හි ඇතුළත් ඉන්ද්‍රීය සංවර ශීලය චිත්තවීථි නැමති අභිධර්ම ඉගැන්වීම ඇසුරින් විසුද්ධිමග්ගයෙහි විවරණය කෙරෙන බවයි. එම විවරණය කෙරෙහි නුතන විද්වතුන්ගේ අවධානය ප්‍රමාණවත් අයුරින් යොමු වී නොමැති බව ඒ සම්බන්ධයෙන් දැනට ප්‍රකාශිත අධ්‍යයන පරිශීලනය කිරීමේ දී හදුනාගත හැකිය. එම හිඩැස සැලකිල්ලට ගනිමින් සුත්‍ර දේශනාවන්හි ඇතුළත් ඉන්ද්රිය සංවර ශීලය විසුද්ධිමග්ගය ප්රමුඛ ථෙරවාදී විවරණ ග්රන්තයන්හි අභිධර්මය ඉගැන්වීම් ඇසුරෙන් පැහැදිළි කරන්නේ කෙසේද යන්න මුලාශ්‍රය අධ්‍යයනය නැමැති ක්‍රමවේදය අනුගමනය කරමින් විමර්ශනය කිරීම මෙම පරියේෂණ පත්‍රිකාවේ ප්‍රධාන අරමුණයි.