Abstract:
බොහෝ සාහිත්‍යය නිර්මාණකරුවන් තම නිර්මාණ සඳහා ‘‘ස්ත්‍රිය’’ වස්තු විෂය කොටගෙන ඇත. පාලි ජාතකට්ඨ කථාව සිංහලයට පරිවර්තනය කරමින් කුරුණෑගල යුගයේ රචිත ‘‘පන්සිය පනස් ජාතක පොතෙන්’’ සිංහල ජාතකකතාකරුවා ස්ත්‍රී චරිතය කියවා ඇත. “ස්ත්‍රියගේ ස්වාමි භක්තිය හා පතිව්රතය’’ පිළිබඳ ජාතක කතාකරුවාගේ දෘෂ්ටිමය ස්වභාවය කුමක්ද යන්න අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණයි. සාහිත්‍යකරුවෙකු ලෙස ජාතක කතාකරුවාට සමාජ යථාර්ථය තම නිර්මාණවලින් එළිදැක්වීමට ඕනෑම චරිතයක් විවිධ දෘෂ්ටි ඔස්සේ කියවා ප්‍රතිනිර්මාණය කළ හැකිය. ස්ත්‍රියගේ ස්වාමි භක්තිය හා පතිව්රතය පිළිබඳ ජාතක කතාකරුවාගේ දෘෂ්ටිය කුමක්ද? යන්න සොයා බැලීම මෙම පර්යේෂණයේ ගැටලුවයි. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණයක් වන අතර පුස්තකාලය හා අන්තර්ජාල මූලාශ්‍රය ඔස්සේ ඒ සඳහා දත්ත රැස් කෙරිණි. ප්‍රාථමික මූලාශ්‍රය වශයෙන් පන්සිය පනස් ජාතක පොතේ සම්බුලා ජාතකය හා අන්ධභූත ජාතකය භාවිත කරන ලදි. ජාතක කතා පොතේ තෝරා ගත් ජාතක කතා සහ ස්ත්‍රියගේ ස්වාමි භක්තිය හා පතිව්රත ගුණාංගය පිළිබඳ ජාතකකතාකරුවාගේ දෘෂ්ටිය මෙහි පර්යේෂණ සීමාවයි. සම්බුලාවගේ ප්‍රමාදවීම හේතුවෙන් ඇය සොත්තිසේනයන්ගේ සැකයට බදුන්වීමේ අවස්ථාව හරහා ජාතක කතාකරුවා ඇගේ ස්වාමි භක්තිය හා පතිව්රතයෙහි ශක්තිය ඉස්මතු කළද එහිදී සොත්තිසේනගේ ව්‍යූහයන්වල සීමා වන ඇගේ නිදහස ජාතක කතාකරුවාගේ අවධානයෙන් ගිලිහී ගොස් ඇත. ස්ත්‍රිය නම් කුසෙහි ලාගෙන ඇවිද්දත් රැකීමට නොපිළිවන යන කියමන ප්රත්යක්ෂ කිරීමට අන්ධභූත ජාතකය මඟින් ජාතක කතාකරුවා උත්සාහ කළත් සූදු ක්‍රීඩාවට ස්ත්‍රිය හා ඇගේ පතිව්රතය යොදා ගැනීම මෙන්ම ඒ සඳහා පුරෝහිත බමුණා මිලට ගන්නා බිළිඳියට උපන් මොහොතේ සිටම පුරුෂයන් දකින්නට නොසැළැස්වීම මත ඇයට අහිමි වන සමාජ ජීවිතය, නිදහස පිළිබඳ ජාතකකතාකරුවා අවධානය යොමු කර නැත. ඒ අනුව ජාතකකතාකරුවා සාම්ප්‍රදායිකව ස්ත්‍රියගේ ස්වාමි භක්තිය හා පතිව්රතය පිළිබඳ සාධනීය හා නිශේධනීය අංශ ඔස්සේ සිය දෘෂ්ටිමය පථය විවර කළද, ස්ත්‍රියක සතු විය යුතුයැයි අපේක්ෂිත මෙම ගුණාංගයම හේතුවෙන් සීමාවන “ස්ත්‍රියගේ නිදහස’’ පිළිබඳ අවධානය ගිලිහී ගිය බවක් මෙමගින් විචාරාත්මකව කියවිය හැකිය.