Abstract:
මහින්දාගමනයත් සමඟ මෙරටට බුදුදහම දායාද වූ අතර, බුදුදහමේ ආරම්භය හා වර්ධනය සමග භික්ෂූන්ගේ වාසස්ථාන උදෙසා බෞද්ධ සංඝාරාම නිර්මාණය විය. බෞද්ධ භික්ෂුවගේ අරමුණු සාධනයෙහිලා තමන්වහන්සේ වැඩ සිටි සංඝාරාම ඉදිකිරීමේදී ඒ සඳහා බලපෑ පාරිසරික සාධකවල ස්වරූපය කෙබඳුද යන්න පර්යේෂණ ගැටලුව වේ. පැරණි සංඝාරාම ගොඩනැඟීමේදී පාරිසරික සාධක උපයෝගි කරගත් ආකාරයත් එම පරිසරය සුරක්ෂිතව පවත්වාගෙන සිය අරමුණු සාධනය සඳහා කටයුතු කළ ආකාරයත් පෙන්වාදීම මෙම අධ්‍යයනයෙන් අපේක්ෂිතය. බෞද්ධ සංඝාරාමවල ආරම්භය, විකාසනය මෙන්ම ඒ සඳහා බලපෑ පාරිසරික සාධක පිළිබඳව සාහිත්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව ක්ෂේත්‍ර අධ්‍යයනයකද නිරත විය. මෙම ක්‍රමවේද ද්විත්වයට අනුව ලබාගත් ප්‍රතිඵල කොටස් කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකිය. සංඝාරාම නිර්මාණ විකාසනයේදී මුල් යුගයට අයත් සංඝාරාම හා පසු අවධියට අයත් සංඝාරාම වශයෙන් මූලික කොටස් දෙකක් හඳුනාගන්නා ලදි. මුල් යුගයට අයත් සංඝාරාම උද්‍යාන සංඝාරාම හා ගිරි සංඝාරාම වශයෙන් තවත් බෙදීමකි. මහා විහාරය සහ අභයගිරි උද්‍යාන සම්ප්‍රදායටද, වෙස්සගිරිය, මිහින්තලේ, සිතුල්පව්ව ගිරි සංඝාරාම සම්ප්රදායයටද අයත් වේ. පසු අවධියට අයත් සංඝාරාම වශයෙන් පබ්බත හා පධානඝර සංඝාරාම දක්නට ලැබේ. පන්කුලිය, පිදුරංගල, මැණික්දෙන පබ්බත සංඝාරාම ලෙසද රිටිගල මානාකන්ද, අරන්කලේ ආදී සංඝාරාම පධානඝර සංඝාරාම ලෙසද හඳුනාගත හැකිය. උද්‍යාන සංඝාරාම ස්වාභාවික පරිසරය උපයෝගි කරගෙන පූර්ව සැලසුම් සහගතව නිර්මාණය කර ඇති අතර ගිරි සංඝාරාම ස්වාභාවික කඳු මුදුන් හෝ ගිරි ශිඛර මත නිර්මාණය වීම දක්නට ලැබේ. පධානඝර සංඝාරාම ගොඩනැගීමේදී භාවනායෝගි භික්ෂූන්ගේ අවශ්‍යතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත. ප්‍රධාන වශයෙන් ස්වාභාවික පරිසරය ආශ්‍රිතව ස්ථාපිතවීම තුළින් ජල අවශ්‍යතාව සපුරාගත හැකිවීම, සිසිල් ගුණයෙන් යුත් පරිසරය, ස්වාභාවික සහ ආරක්ෂාකාරී උස්බිම් තෝරා ගැනීම, භාවනාව පිණිස උචිත නිස්කලංකබව, ගංගා හා තොටුපළ ආශ්රිත භූමි තුළින් ලැඛෙන ප්‍රවාහන පහසුකම් ආදිය මෙහිදී හඳුනාගත හැකිය. ස්වාභාවික පරිසරයට හානි කරමින් සංඝාරාම ගොඩනැගූ සාධක නොමැති තරම්ය. මේ අනුව සංඝාරාම ගොඩනැඟීමේදී පාරිසරික සාධක උපයෝගී කරගත් ආකාරය හා භික්ෂූන් ගෙන් ලද සහාය ඇසුරින් එම පරිසරය තවදුරටත් ආරක්ෂා කරගනිමින් තම අරමුණු සාධනය කරගත් ආකාරයත් නිගමනය කළ හැකිය.