Abstract:
ඓතිහාසික උරුමයේ වැදගත්ම අංශයක් ලෙස ඓතිහාසික ස්ථාන ප්‍රමුඛස්ථානයේ සැලකෙයි. රෝහණ දේශයට අයත් වලවේ ගංගාවේ පහළ නිම්නය තුළ ඓතිහාසික ස්ථාන රාශියක් පිහිටා ඇත. ලාංකේය ඉතිහාසයෙහි අනුරාධපුර හා පොළොන්නරු රාජධානි කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීම නිසා රෝහණ රාජධානිය පිළිබඳ තොරතුරු දක්වන්නේ අල්ප වශයෙනි. ඒ අතරින් වලවේ ගංගාවේ පහළ නිම්නයේ ඓතිහාසික ස්ථාන රැසක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවී විවිධ හායනකාරක තත්ත්වයන්ට ලක්වෙමින් පවතී. එම හායන කාරක තත්ත්ව කාලයත් සමග සැගවී යන ආකාරයක් හඳුනාගත හැකි අතර බොහෝ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන්ගේ පොදු නම්‍යතාව රජරට රාජධානිය වෙත යොමු වන තත්ත්වයක රෝහණ රාජධානියට අයත් වලවේ ගංගාවේ පහළ නිම්නයේ පිහිටි ඓතිහාසික ස්ථාන හා ඒවාට සිදු වන හායනකාරක තත්ත්ව පිළිබඳ අවධානය අඩුවී ඇති ආකාරයක් දෘශ්‍යමාන වේ. එකී ඌන පූර්ණය මෙම අධ්‍යයනය මඟින් සිදු කර ඇත. එහිදී පුස්තකාල අධ්‍යයන ක්‍රමවේදය යොදාගනිමින් ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය පරිශීලනය කරමින් වලවේ ගංගාවේ පහළ නිම්නයේ පිහිටි ඓතිහාසික ස්ථාන හා රෝහණ රාජධානියේ ඓතිහාසික තොරතුරු හඳුනා ගැනිණි. නම්‍යතාවයේ තොරතුරුවල විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා ඍජු නිරීක්ෂණ, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි ක්‍රමවේද යොදා ගන්නා ලදි. සමස්තයක් වශයෙන් වලවේ ගංගාවේ පහළ නිම්නයේ පිහිටි ඓතිහාසික ස්ථානවලට සිදු වන හානිය හඳුනා ගැනීමේදී මානව බලපෑම් මූලිකව පාදක කරගනු ලැබිණි. අධ්‍යයනයේ ගුණාත්මකභාවය සඳහා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විහාරස්ථාන හතරක් තෝරා ගන්නා ලදි. වර්ෂානුපිළිවෙළින් ඒවා ගිරිහඬු රජමහා විහාරය, ථේරපුත්තාභය රජමහා විහාරය, රම්බා රජමහා විහාරය, උච්චවාලික රජමහා විහාරය ලෙස හඳුනාගත හැකිය. රෝහණ රාජධානියේ ඓතිහාසික තත්ත්වය, වලවේ ගංගාවේ පහළ නිම්නයේ ජනාවාසකරණය හා ඓතිහාසික ස්ථාන ව්‍යාප්තිය, එම ඓතිහාසික ස්ථානවලට සිදු වන සමකාලීන මානව බලපෑම් යනාදිය අධ්‍යයනය කරන ලදි. ඒ අනුව රෝහණ රාජධානියට අයත් පහළ වලවේ නිම්නයේ ඓතිහාසික ස්ථාන රාශියක් ව්‍යාප්ත වී පවතින බවත් ඒවාට සිදු වන මානව හානි ප්‍රබල වශයෙන් ඓතිහාසික ස්ථාන හායනයට සහ විනාශයට පත්වීමට හේතුවන බවත් හඳුනාගත හැකි විය. මානව බලපෑම් තුළින් හා නොයෙක් අයුරින් සිදු වන හායනකාරක තත්ත්ව ඉස්මතු කරන ලදි.