Abstract:
රොඩි හෙවත් ගාඩි ජනයා ලංකාවේ කුලධුරාවලියෙහි එක් කුලයක් නියෝජනය කරන ජන ප්‍රජාවකි. මෙම අධ්‍යයනය සඳහා වයඹ පළාතේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැරණි රොඩි ගම්මාන ද්විත්වයක් වූ වේරහැරයාගම හා අතරගල්ල ගම්මාන අධ්‍යයනයට ලක්විය. මෙම අධ්‍යයනය මඟින් අතීත රොඩි ජනසම්ප්‍රදාය කාලීනව වෙනස්වෙමින් නූතනත්වයට සමාජගත වන රොඩි ජනසමාජයේ කාලීන වශයෙන් සිදුවූ වෙනස්කම් මොනවාද? යන්න පිළිබඳව විමසා බැලීම අධ්‍යයන ගැටලුව වේ. රොඩි ජන සමාජයේ කාලීන වශයෙන් වෙනස්වීම් සිදුවීමට බල පෑ හේතූන් පෙන්වා දීම මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වේ. අධ්‍යයන ක්‍රමවේදය වශයෙන් ක්ෂේත්‍ර අධ්‍යයනය හා ක්ෂේත්‍ර නොවන අධ්‍යයන ක්‍රමවේද මඟින් දත්ත සපයා ගන්නා ලදි. ක්ෂේත්‍ර අධ්‍යයනය යටතේ වේරහැරයාගම හා අතරගල්ල ගම්මාන නිරීක්ෂණයට ලක්වූ අතර එහිදි ඍජු නිරීක්ෂණ හා සම්මුඛ සාකච්ඡා මඟින්ද ක්ෂේත්‍ර නොවන අධ්‍යයන ක්‍රමවේදය යටතේ පුස්තකාල සමීක්ෂණ ක්‍රමවේදය මඟින් ප්‍රාථමික හා ද්විතීයික මුලාශ්‍රය ආශ්රයෙන් දත්ත රැස් කිරීම සිදු කරන ලදි. අතීතයේදී පොදු සමාජයෙන් වෙන් වූ සමාජ කොට්ඨාසයක් වූ රොඩි ජනයා වර්තමානය වනවිට කාලීන තත්ත්ව යටතේ වීවිධ වෙනස්කම්වලට පත්ව ඇති ආකාරය දක්නට හැකිය. මහාසමාජය සමග සමාජගත වෙමින් ඔවුනගේ ආර්ථීක, සමාජීය, සංස්කෘතික, දේශපාලනික හා ආගමික යනාදි සියලුම අංශද කාලීන වෙනස්වීම්වලට ලක් වී ඇත. නම්, ගම්, පෙළපත් සාමාන්‍ය ජන සමාජයේ පවතින ආකාරයට වෙනස් කරගෙන ඇත. රොඩී නිවාස සුවිසල් මහල් නිවාස බවට පත් කිරීම රොඩි භාෂාවෙන් ඉවත්ව, වෙනත් විවිධ භාෂා කතා කිරීම හා ආගම් ඇදහීම දැකිය හැකිය. රොඩි දරුවන් පාසල් අධ්‍යාපනය ලැබීම, බෞද්ධ හා ක්‍රිස්තියානි ආගම් ඇදහීම, ගුරු, හමුදා, කර්මාන්තශාලා, වෙළෙන්දන්, නර්තන ශිල්පීන් ආදි ලෙස විවිධ වෘත්තිවල නිරතවීම මෙන්ම තම කුලයට පාරම්පරිකව හිමි වී තිබූ යන්ත්රමන්ත්රගුරුකම් ආදි කටයුතු මහාපරිමාණයෙන් පවත්වා ගෙන යන ආකාරය වැනි කාලීන වෙනස්වීම් හඳුනා ගැනීමට හැකිවිය. රොඩි ජනයාගේ කාලීන වෙනස්වීම මත ඔවුන් සතු සමාජ, ආර්ථීක, ආගමික, සංස්කෘතික තත්ත්ව කාලීනව වෙනස්වී ඇති ආකාරය මේ අනුව හඳුනාගත හැකිවිය. මෙම කාලීන වෙනස්වීම් සඳහා නිදහසින් පසු ලංකා සමාජයේ සිදු වූ දේශපාලනික, ආර්ථීක, සමාජීය, තත්ත්ව හා ප්‍රතිසංස්කරණ, නිතී පනත් හේතු වූ අතර විශේෂයෙන් නිදහස් අධ්‍යයාපනයත් 1978 විවෘත ආර්ථීක ප්රතිපත්තියත් මෙහිදී ප්‍රධාන වශයෙන් බලපා ඇතිබව හඳුනාගත හැකිවිය. මෙම කරුණු අනුව කාලීනව ලංකේය සමාජයෙහි සිදු වූ වෙනස්වීම් මත රොඩි ජන සමාජයද කාලීන වශයෙන් වෙනස්වීම්වලට ලක්ව මහා සමාජය සමග එක්විය. එමගින් කුල ක්රමයෙහි ස්ථීර පැවැත්මක් නොවන බව හා පවතින සමාජ පසුබිම් තත්ත්වය අනුව කුල ක්රමයෙහි හැඩගැසීම සිදු වන බවද නිගමනය කළ හැකිය.