Abstract:
ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට යුරෝපා ජාතීන්ගේ යටත් විජිතයක් බවට පත්ව තිබූ දිවයිනකි. මුල් අවධියේදී මෙරටට පැමණි පෘතුගීසි, ලන්දේසි පාලකයන් මෙරට අර්ධයටත්විජිත පාලනයක් ගෙන ගියද ඒ තුළ විශාල වශයෙන් ආර්ථික හා සාමාජීය වශයෙන් විශාල වෙනස්කම් සිදු නොවීය. නමුත් 1815න් පසුව බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ආර්ථික සාමාජීය වශයෙන් විශාල වෙනස්කම් ඇති කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට වතුවගාව ව්‍යාප්ත විය. වතුවගාව සඳහා අවශ්‍ය වූ ශ්‍රමය මෙරටින් ලබාගත නොහැකි විය. මේ නිසා වතුවගාව සඳහා අවශ්‍ය ශ්‍රමය ඉන්දියාවෙන් ගෙන්වා ගත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ එම ඉන්දීය වතුකම්කරු ජනතාව උඩරට වතු ආශ්රිත ප්‍රදේශවල පදීංචි කරවූහ. මෙම අධ්‍යයනයේ මූලික පරමාර්ථය වූයේ වර්තමානය වන විට වතුකම්කරු ජනතාවගේ සමාජ ආර්ථික ජීවන රටා වෙනස් වී ඇති ආකාරය හඳුනා ගැනීමය. දත්ත රැස්කිරීමෙහිලා ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමවේදය භාවිත කරන ලදි. ලාංකේය සමාජයෙහි සිදු වූ ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපනික නව වෙනස්කම් වතුකරයටද බලපෑම් කර ඇත. වතුකරයේ මෙම නව සමාජ කණ්ඩායම සාමාන්‍ය ග්‍රාමීය සහ නාගරික සමාජයෙන් වෙන් කිරීමට බ්‍රිතාන්‍යයයන් කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදටත් මෙම පිරිස බැහැර කරන ලද සමාජ කණ්ඩායමක් ලෙස හඳුනාගත හැකිය. යටත්විජිත යුගයේ සිට වර්තමානය දක්වාම තේ වගාව යනු මෙරට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයකි. මේ ආශ්‍රිතව විශාල පිරිසකට රැකියා අවස්ථා සැලසී ඇති නමුදු ඔවුන්ගේ ආර්ථික තත්ත්වය දෙස බැලීමේදී පෙනීයන්නේ ඔවුහු ඉතා දුෂ්කර ජීවිත ගත කරන බවයි. දෛනික අවම වැටුපක් මොවුන්ට හිමිවන අතර එය ඔවුන්ගේ පවුල් නඩත්තුව සඳහා ප්‍රමාණවත් නොවේ. වතුසමාජයේ ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වයද අනෙකුත් අංශවලට සාපේක්ෂව පහළ මට්ටමක පවතියි. බ්‍රිතාන්‍ය පාලකයන් මෙම කම්කරු ජනතාව පදිංචි කළ සමයේ සිට වර්තමානය දක්වාම ඔවුනට හිමිව ඇත්තේ ඉතාම දුෂ්කර ජීවන තත්ත්වයක් බව ෆර්ලන්ස් වත්ත ආශ්‍රිතව කළ ක්ෂේත්‍ර අධ්‍යයනයෙන් හඳුනාගත හැකි විය.