Abstract:
ශ්‍රී ලංකාවේ සතර දිශාවන්ට ගලා බසින ගංගා හා ඔයවල් රාශියකි. එ්වා අතුරෙන් දිගින් කි. මී. 147ක් වන දැදුරුඔය පුරාණ දක්ඛිණ දේශය වෙන්කරනු ලබන සීමාවයි. පාලි මූලාශ්රයවල ජජ්ජර නදිය නමින් හඳුන්වනු ලබන්නේද දැදුරුඔයයි. දැදුරුඔය වර්ෂය පුරාම ඒකාකාරි ලෙස ජලය ගලාබසින ගංගාවක් නොවේ. දිස්ත්‍රික්ක තුනක් හරහා ගලාබසින දැදුරුඔය අතු ගංගා කිහිපයකින් පෝෂණය වේ. ප්‍රාදේශීය පාලන ඒකක නිර්මාණය වීම කෙරෙහි දැදුරුඔය මධ්‍ය නිම්නයෙහි පිහිටීම බලපෑවේ කෙසේද? යන්න මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුවයි. දැදුරුඔය මධ්‍ය නිම්නය පදනම් කරගෙන බිහි වූ පාලන මධ්‍යස්ථාන මොනවාද යන්න හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ ප්රමුඛ අරමුණයි. දැදුරුඔය මධ්‍ය නිම්නයෙහි භූගෝලීය පිහිටීම පාලන මධ්යයස්ථාන නිර්මාණය වීමට දායක වූ ආකාරය හඳුනා ගැනීම හා දැදුරුඔය මධ්‍ය නිම්නයෙහි දේශපාලන තත්ත්වය හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ සෙසු අරමුණුයි. මෙම අධ්‍යයනයෙහි දත්ත රැස් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් පුස්තකාල අධ්‍යයන ක්‍රමවේදය භාවිත කරන ලදි. එහිදි ප්‍රාථමික හා ද්විතියික මූලාශ්‍රය ඇසුරෙන් පර්යේෂණය සිදු කරන ලදි. දැදුරුඔය මධ්‍ය නිම්නය ආශ්රිත ප්‍රදේශය ප්රාග් ඓතිහාසික යුගයේ පටන්ම ජනාවාසකරණයට ලක්වූ ප්රදේශයකි. මධ්‍ය නිම්නය භූගෝලීය අතින් තැනිතලා භූමියක් වන අතර කෘෂිකර්මාන්තය හා වාරිකර්මාන්ත ඉදිකිරිමට යෝග්‍ය පාංශු තත්ත්වයක්ද ඇත. විශේෂයෙන්ම මෙම අවධියේ සුසාන භූමි ඉදිකිරිම විශේෂ ලක්ෂණයකි. පූර්ව ඓතිහාසික අවධිය වනවිට ජනපද රැසක් බිහිවීම දක්නට ලැබේ. පසුකාලීනව දැදුරුඔය මධ්‍ය නිම්නය මුල් කරගෙන ප්‍රාදේශීය පරිපාලන ඒකක ගොඩනැඟී ඇත. පරාක්රමපුර, නුවරකන්ද, යාපහුව වැනි පරිපාලන මධ්‍යස්ථාන දැදුරුඔය මධ්‍ය නිම්නයෙහි ස්ථාපිත විය. පුරාණ දක්ඛිණ දේශයේ අගනගරය වූයේද පරාක්රමපුර නැතහොත් පඬුවස්නුවරයි. දැදුරුඔය මධ්‍ය නිම්නය තැනිතලා භූමියක් වීමත් හුදෙකලාබවකින් යුක්ත වීමත් ආරක්ෂාකාරි ප්‍රදේශයක් වීමත් ප්‍රාදේශීය පාලන ඒකක ගොඩ නැගීමට හේතු වන්නට ඇතැයි නිගමනය කළ හැකිය.