Abstract:
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයෙහි උඩරට ප්‍රදේශවල වතු වගාව ආරම්භ වීමත් සමඟ එම ප්‍රදේශවල අස්වනු කොළඹ වරාය වෙත ප්‍රවාහනය කිරීම සඳහා ක්‍රි. ව. 1820 වර්ෂය වන විට කොළඹ සිට මහනුවර දක්වා මහා මාර්ගයක් ඉදිවීම ආරම්භ විය. මෙම අධ්‍යයනයෙහිලා ක්ෂේත්‍ර හා ක්ෂේත්‍ර නොවන ක්‍රමවේද භාවිත කළ අතර, පර්යේෂණ ගැටලුව වූයේ මහනුවර හා තදාශ්රිත ප්‍රදේශ ආශ්‍රිතව පවතින බ්‍රිතාන්‍යය යුගයේ ඉදිකරන ලද පාලම් හඳුනාගැනීම හා එවැනි පාලම් ප්‍රතිසංස්කරණය කළයුතු ආකාරය හඳුනාගැනීමයි. එම ස්මාරක විනාශ වීම වැලැක්වීම සඳහා අනුගමනය කළයුතු සංරක්ෂණ ක්‍රම පිළිබඳ සාකච්ඡා කිරීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වේ. බ්‍රිතාන්‍යයන් විසින් මෙම මාර්ගයේ හා මෙම මාර්ගයට සම්බන්ධ වන සෙසු මාර්ගවලද පාලම් හා බෝක්කු ඇතුළු සිවිල් ඉංජිනේරුමය ඉදි කිරීම් රැසක් කරවන ලදි. ශ්‍රී ලංකාවේ එවකට ආණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් මහනුවර හා තදාශ්රිත ප්‍රදේශවල පාලම් හා බෝක්කු ඉදි කිරීමේ කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදි. පාලම් තාක්ෂණයෙහි කලින් කල භාවිත වූ ශිල්ප ක්‍රම හා ඉදි කිරීම් ද්‍රව්‍ය විවිධ වූ අතර ඒ යටතේ ගඩොල් ආරුක්කු පාලම් හා යකඩ පාලම් මහනුවර හා තදාශ්රිත ප්‍රදේශවල ඉදිවිය. බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම අවධියේ පාලම් ඉදි කිරීම් කටයුතුවල සැලසුම් සකස් කිරීම හා නිර්මාණය කිරීම මේජර් තෝමස් ස්කිනර්, ජෝන් ෆෙෂර්, කපිතාන් ගෝර්ඩන් හා කපිතාන් ඒ බ්‍රවුන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහ. වර්තමානය වන විට නොසැලකිලිමත්බව හා විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් හේතු කොට ගෙන මහනුවර හා තදාශ්රිත ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය පාලන යුගයේ නිර්මිත පාලම් රැසක් එහි පෞරාණික වටිනාකම පිළිබඳවද නොසලකා විනාශ වීමට ඉඩහැර ඇත. ඇතැම් පාලම් වසර සියය ඉක්මවූ පුරාවස්තු හා පුරාස්ථාන ලෙස සැලකිය හැකි වුවද තවමත් පුරාවිද්‍යා ආඥා පනත යටතේ කිසිදු පාලමක් පුරාවස්තුවක් ලෙස ගැසට් කර නොමැත.