Abstract:
එක්තරා ප්‍රදේශයක් තුළ එකම කාල වකවානුවකදී එකම රෝග ලක්ෂණ පවතින රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තාවීමේ සම්භාවිතාව ඉහළ නම් එවැනි අවස්ථාවක් වසංගතයක් වේ. මෙය තුරන් කිරීමට වඩා පාලනය කිරීම උදෙසා සෑම රටක්ම උත්සුක වන අතර ශ්‍රී ලංකාවේ ඒ සඳහා පාරම්පරික ඥානයෙහි එක් ක්ෂේත්රයක් වන පාරම්පරික ශාන්තිකර්මවලට ප්රමුඛත්වයක් ලබා දී ඇති ආකාරයක් දැක ගත හැකිය. ඒ අනුව මෙම අධ්‍යයනයෙන් ඒ පිළිබඳ වැඩිදුර අවධානය යොමු විය. එහිදී ක්ෂේත්‍ර නියැදි තෝරා ගැනීමේදී සසම්භාවීය ලෙස කළුතර දිස්ත්‍රික්කය තුළ භාවිතා වන ශාන්තිකර්ම කෙරෙහි අවධානය යොමු කරනා ලදි. තවද මෙම අධ්‍යයනයෙහි මුඛ්‍ය ගැටලුව බවට පත් වූයේ වසංගත රෝග පාලනය සඳහා භාවිත වන පාරම්පරික ශාන්තිකර්ම මොනවාද යන්න සොයා බැලීමයි. වසංගත රෝග පාලනයට පාරම්පරික ශාන්තිකර්ම භාවිතය හඳුනා ගැනීමත්, නූතන ලෝකය තුළ වසංගත රෝග පාලනයට පාරම්පරික ඥානය යොදා ගන්නා ආකාරය හඳුනා ගැනීමත් මෙම අධ්‍යයනයේ අරමුණු වේ. මෙම පාරම්පරික ක්‍රමවේද භාවිතය මඟින් ඕනෑම පුද්ගලයකුට පහසු පරිදි වසංගත පාලනයට ක්‍රමවේද හඳුන්වා දීමත් දේශීය උරුමයෙහි අස්පර්ශනීය උරුම ගණයට වැටෙනා පාරම්පරික ඥානය ආරක්ෂා කර ගැනීමත් මෙම අධ්‍යයනයේ වැදගත්කම් වේ. මෙම අධ්‍යයනයේ අධ්‍යයන ක්‍රමවේද වශයෙන් ක්ෂේත්‍ර නොවන අධ්‍යයන ක්‍රමවේදය යටතේ ප්‍රාථමික හා ද්විතීයික සාහිත්‍ය මූලාශ්‍රය භාවිත කළ අතර ක්ෂේත්‍ර අධ්‍යයනය යටතේ නිරීක්ෂණ, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි ක්‍රමවේද යොදා ගන්නා ලදි. වසංගතරෝග පාලනය උදෙසා දැක ගත හැකි සුවිශේෂී ශාන්තිකර්ම වශයෙන් දෙවොල් මඩු ශාන්තිකර්ම, පත්තිනි පූජාව, පොරපොල් ගැසීම පෙන්වා දිය හැකිය. මෙම එක් එක් ශාන්තිකර්ම මඟින් වසංගත පාලනය කෙරෙහි කරනු ලබන ක්‍රියාකාරකම් විවිධ වූවද මේ සියලු අවස්ථාවලදී ප්‍රධාන වශයෙන් පත්තිනි දේවිය උදෙසා පූජා පවත්වන බවට පොදුවේ නිගමනයකට එළඹිය හැකිය. මෙම ශාන්තිකර්ම මඟින් ජනතාවගේ මානසික සහනය ඇති කරමින් වසංගත රෝග අවස්ථාවලදී යම් දුරකට හෝ රෝගය සමනයකට පත්වූ ආකාරයක් හඳුනා ගන්නා ලදි. මේවා මිථ්‍යාදෘෂ්ටික අදහස් වශයෙන් කෙනෙකුට ප්‍රතික්ෂේප කළ හැකිය. කෙසේ වූවද මෙවන් ශාන්තිකර්ම මඟින් සාක්ෂි සහිතව රෝග සුවයට පත් වූ ආකාරය ගැමි ජනතාව තුළින් සොයා ගැනීමට අපහසු නොවේ. මෙම අධ්‍යයනය මඟින් පවතින ශාන්තිකර්ම තවදුරටත් සාක්ෂාත්වීමත් නව තොරතුරු හඳුනා ගැනීමත් සිදු විය.