Abstract:
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ගලතරය ගම්මානය සාම්ප්‍රදායික තල්පත් කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන කරනු ලබන ගම්මානයකි. වටාපත්, පැදුරු, තේපෙට්ටි, හැඹිලි ආදිය ගම්මානය ආශ්‍රිතව නිෂ්පාදනය කෙරේ. ඒ අනුව ගලතරය ගම්මානය ප්රාක්කාර්මික ශිල්ප කර්මාන්ත පවතින දිවයිනේ සුවිශේෂ ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය. අතීතයේ සිට ගම්මානය ආශ්රිත ජනශ්රැති කිහිපයක් ගොඩනැඟී ඇත. ඇතැම් ජනශ්රැති තල් කර්මාන්තය ආශ්‍රිතව ගොඩනැඟී ඇත. වෙනත් ඓතිහාසික කථා ප්රවෘත්ති අනුසාරයෙන්ද ජනශ්රැති ගොඩනැඟී තිබේ. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ ගලතරය ගම්මානය ආශ්‍රිතව පවතින ජනශ්රැති පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් කිරීමයි. ඓතිහාසික කථා ප්රවෘත්ති අධ්‍යයනය කිරීමේදී ගලතරය ආශ්රිත ජනශ්රැති ඉවහල් වන්නේ කෙසේද? යන්න පර්යේෂණයේ ගැටලුවයි. පර්යේෂණ ක්‍රමවේදයේදී ප්‍රථමයෙන් ජනශ්රැති පිළිබඳ ලියැවී ඇති සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනය සිදු වූ අතර ඉන් පසුව ගලතරය ගම්මානයේ ජනශ්රැති පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රය මඟින් අධ්‍යයන සිදු විය. ක්ෂේත්‍ර අධ්‍යයනයේදී පූර්වයෙන් සකසා ගත් ප්‍රශ්නාවලියක් ගම්මානයේ වැඩිහිටි පිරිසට ලබා දෙමින් සම්මුඛ සාකච්ඡා පවත්වමින් කරුණු එක්රැස් කැරිණි. තවද මානවවංශ අධ්‍යයනය සඳහා යොදා ගන්නා සහභාගීත්ව නිරීක්ෂණ ක්රමවේදයද මෙහිදී යොදා ගැනිණි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මාතලේ අලුවිහාරයේදී හෝ කැගල්ල අලුලෙන ආශ්‍රිතව සිදු කැරුණු බවට ප්‍රධාන මතවාද දෙකක් පවතී. මෙම කරුණ නිරවුල් කර ගැනීම සඳහා ගලතරය ජනශ්රැති ඉවහල් වේ. එමෙන්ම දළදා වහන්සේ බෙලිගලට වැඩමවීමේදී භාවිත කළ මාර්ගය හඳුනා ගැනීමටද මෙම ජනශ්රැති ඉවහල් වේ. කෝට්ටේ යුගයේ පැවැති ප්රමුඛ පිරිවෙනක් වූ සේලන්තර පිරිවෙන පිළිබඳ සාහිත්‍ය මූලාශ්රයවල සඳහන් නොවන කරුණු රැසක් සොයා ගැනීමට මෙම ජනශ්රැති ඉවහල් වේ. මේ ආකාරයට පර්යේෂණයේදී ගලතරය ආශ්රිත ජනශ්රැති විමර්ශනාත්මකව අධ්‍යයනය කිරීම සිදු විය. ඒ ඔස්සේ එළඹිය හැකි නිගමනය වන්නේ දිවයිනේ පොදු ඓතිහාසික සන්දර්භයේ අන්තර්ගත වන ඓතිහාසික කථා ප්රවෘත්ති වඩාත් නිරවුල්ව අධ්‍යයනය කිරීමට ගලතරය ආශ්රිත ජනශ්රැති ඉවහල් වන බවයි. එබැවින් අස්පර්ශීය උරුමයක් ලෙස වටිනාකම් උසුලන මේ ජනශ්රැති විනාශ වී යෑමට පෙර විධිමත්ව වාර්තාගත කොට අනාගත පරපුර සඳහා ආරක්ෂා කර තැබීම වර්තමාන පරපුරේ වගකීමකි.