Abstract:
මූල්‍ය සාක්ෂරතාව යනු ජීවිත කාලය තුළ මූල්‍යමය යහපැවැත්මට මූල්‍ය සම්පත් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා දැනුම හා කුසලතා භාවිත කිරීමේ හැකියාවයි. 2021 Visualizing Financial Literacy Rates Around the World වාර්තාව පෙන්වා දෙන ආකාරයට කලාපීය වශයෙන් ගත් කල දකුණු ආසියාව මූල්‍ය සාක්ෂරතාව අතින් පහළ මට්ටමක පවතින අතර දකුණු ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාවද 31%ක් වැනි පහළ මට්ටක පවතී. ශ්‍රී ලංකාවේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ මූල්‍ය සාක්ෂරතාව මැනීම, මූල්‍ය සාක්ෂරතාවට බලපාන සාධක හඳුනා ගැනීම හා උපසමාජ ස්ථර අතර මූල්‍ය සාක්ෂරතාවයේ වෙනස්කම් සලකා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණුයි. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන ආකාරයට ස්තෘත සසම්භාවි නියදුම් ක්‍රමය යටතේ තෝරා ගත් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ 758ක පමණ නියදියකින් මාර්ගගත ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර ලබා ගත් දත්ත භාවිත කරන ලදි. විශ්ලේෂණය යටතේ මෙම අධ්‍යයනයේ පරායත්ත විචල්‍ය ලෙස මූල්‍ය පිළිබඳ දැනුම, ආකල්ප හා භාවිතය පිළිබඳ තොරතුරු ඇතුළත් වන සේ මූල්‍ය සාක්ෂරතා දර්ශකයක් නිර්මාණය කළ අතර එය 0 -23 පරාසයක විහිදෙන ලුප්ත විචල්‍යයක් බැවින් විශේෂිත බහුගුණ ප්‍රතිපායනය විශ්ලේෂණයක් ලෙස ටොබිට් ආකෘතිය යොදා ගනිමින් මූල්‍ය සාක්ෂරතාව සඳහා විවිධ සාධකවල බලපෑම ඇස්තමේන්තු කරන ලදි. මෙම දර්ශකයට අනුව රැකියා අපේක්ෂිත තරුණතරුණියන්ගේ මූල්‍ය සාක්ෂරතාව මධ්‍යස්ථ මට්ටමක පවතින බවත්, එම මූල්‍ය සාක්ෂරතා මට්ටම තීරණය වීමට තරුණතරුණියන්ගේ මූල්‍ය නව්‍යතා භාවිත කරන ප්‍රමාණය, මූල්‍ය සාක්ෂරතාව සඳහා බලපාන විෂය හදාරා තිබීම, ප්රතිචාරිකයාගේ පවුලේ සාමාජිකයකු බැංකු හෝ රක්ෂණ අංශයේ රැකියාවක නිරත වීම, වයස, CIMA, Chartered පාඨමාලා හදාරා තිබීම, ජීවත් වන ප්‍රදේශය ආදි සාධක වෙසෙසි බලපෑමක් ඇති කරන බවත්, අනෙක් අතට ස්ත්‍රී පුරුෂ භාවය, තාක්ෂණික ආයතනවලින් ලබා ගන්නා නිපුණතා මට්ටම (NVQ), මවගේ හා පියාගේ අධ්‍යාපන මට්ටම, ප්රතිචාරිකයාගේ ආදායම, පවුලේ ආදායම, SIM පාඨමාලාව හදාරා තිබීම වැනි සාධක මූල්‍ය සාක්ෂරතාව තීරණය වීමට වෙසෙසි බලපෑමක් නොකරන බවත් හඳුනා ගන්නා ලදි. මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පාසල් විෂය මාලාවට මූල්‍ය හා සම්බන්ධ විෂය ඇතුළත් කිරීම, ග්‍රාමීය මට්ටමින් මූල්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම යෝග්‍ය ක්‍රමෝපාය ලෙස මෙම අධ්‍යයනය මඟින් නිර්දේශ කරනු ලැබේ.