Abstract:
සබරගමු පළාතේ පිහිටා තිබෙන සපරගමු මහ සමන් දේවාලය දෙවන පැරකුම්බා රජ දවස ආර්යකාම දේව ඇමති විසින් ඉදිකරනු ලැබ ඇත. විවිධ කාල වකවානුවල රාජ්‍ය අනුග්‍රහය ලබා ඇති මෙය සීතාවක රාජධානි සමයේ පෘතුගීසීන් අත්පත් කරගෙන ඇති අතර ඔවුහු මෙම දේවාල භූමිය බලකොටුවක් බවට පත් කළහ. පසු කාලීනව දෙවන රාජසිංහ රජු දවස නැවතත් දේවාලයක් බවට පරිවර්තනය කරන ලදි. මෙම පරිවර්තන ක්‍රියාදාමයේදී පෘතුගීසි අවශේෂ කිහිපයක් ඉතිරි විය. මෙම අධ්‍යයනයේදී දේවාලයෙහි ඉතිරි වූ විදේශීය මූලාශ්‍රය වන පෘතුගීසි නිර්මාණ කෙරෙහි උරුම කළමනාකරණය කෙතරම් දුරට දායකත්වය සපයා දී තිබේද යන්න විමසීම සිදු කරයි. මෙහිදී දත්ත රැස් කිරීම සඳහා ද්විතීයික මූලාශ්‍රය වන පොත් හා අන්තර්ජාලය හා ක්ෂේත්‍ර අධ්‍යයන භාවිත කරන ලදි. වර්තමාන දේවාල සංකීර්ණය පෘතුගීසි බලකොටුව විනාශකර ඉදිකෙරිණි. මෙම නව දෙවොල ඉදිකරන විට මෙහි ඉතිරිව ඇති පෘතුගීසි අවශේෂ කිහිපයකි. එනම් දෙවොලෙහි බිත්තියක ඇති ගල්කැටයමද කෞතුකාගාරයෙහි ඇති පෘතුගීසි ලාංඡනයද ළිඳෙහි ඇති ආරුක්කු නිර්මාණයද මේ අතර වේ. මෙම ගල් කැටයමෙහි සීමෙන් පිංඤො නැමති පෘතුගීසි පාලකයා සිංහල රණවිරුවෙකු යටත් කරන බව හෙළි වේ. මෙහි පෘතුගීසි අක්ෂර කිහිපයක්ද සඳහන්ව ඇත. අඩි දෙකක් පමණ දිග අඩි දෙක හමාරක් පමණ පළල සමන් දේවාල කෞතුකාගරයෙහි ඇති පෘතුගීසි ලාංඡනයද මෙලෙස ඉතිරි වූ අවශේෂයකි. මෙය සරල මෝස්තරවලින් යුතු වන අතර කොටස් දෙකකට බෙදා ලාංඡනය සටහන් කර ඇත. මෙහි ඇති පෘතුගීසි අවශේෂයක් ලෙස ළිදේ ආරුක්කු බැම්මද නම් කළ හැක. වර්තමානය තුළ මෙම පුරාවිද්‍යාත්මක අවශේෂ පිළිබදව සමාජයට ඇත්තේ ඉතා අල්ප දැනුමකි. පෘතුගීසි ලාංඡනය දෙවොලෙහි තිබෙන්නාවූ කෞතුකාගරයෙහි ඇති බැවින් එය ආරක්ෂා වී ඇති අතර ඒ පිළිබඳ අවබෝධයක් ජනතාවට ලැබිය හැකි වුවද අනෙකුත් නිර්මාණ පිළිබඳ විස්තර ලබා ගැනීමට ඇති අවස්ථාව සීමිතය. උරුම කළමනාකරණය තුළින් පුරාවස්තු හඳුනා ගැනීම, ආරක්ෂා කිරීම හා අනාගත සම්ප්‍රේෂණය කිරීම වැදගත් කාරණාවකි. නමුත් මෙම පෘතුගීසී උරුමය ගැන දැනුම අනාගතයට සම්ප්‍රේෂණය කිරීම අතින් දුර්වලය. අතීතය නැවත කියවීම සඳහා වටිනා සාධකවන මෙම පුරාවස්තු සතු දැනුම අනාගතයට රැගෙන යාම සඳහා සිදු කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විමසීමක් මෙම අධ්‍යයනය මගින් කරනු ලබයි.